මීට පෙර නගර සැලසුම්කරණය හා වාරිකළමනාකරණය පිළිබඳ ඉතිහාස මූලාශ්‍ර ඇසුරින් සාකච්ඡා කළෙමු. මෙවර අවධානය යොමුකරනුයේ වැවක අතිරික්ත ජලය මුදාහළ තවත් එක් ක්‍රමවේදයක් වූ උයන් හා පොකුණු නිර්මාණයටයි.

මේ පිළිබඳ සමාරම්භක රජු ලෙස හඳුන්වා දෙන්නේ වසභ රජතුමාය. මෙම රජතුමා විසින් නගර මධ්‍යයේ පොකුණු නිර්මාණය කරවා ඉන් නගරය අලංකාර කළ ආකාරයත්, නගර මධ්‍යයේ උයන් සහ එ්වායෙහි පොකුණු කරවා නගරයේ සිසිලස පවත්වාගෙනගිය ආකාරයත් විහාරාරාම ආශ්‍රිතව පොකුණු කරවා එහි රැස්වන ජලය භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජනයට ගැනීමට සැලැස්වූ ආකාරයත් පිළිබඳව මහා වංශයෙහි සඳහන්ව ඇත.

මෙහිදී කැපී පෙනෙන ලක්ෂණය වනුයේ වැවේ සිට ඇළ මාර්ගවලටත්, ඇළමාර්ගවල සිට ක්‍රමානුකූල කාණු පද්ධතියත් ඔස්සේ හෝ උමං ජල මාතිකා ඔස්සේ පොකුණුවලටත් ජලය ලබාදුන් ආකාරයයි. ඒ සඳහා භාවිතා කළ වාරි ඉංජිනේරු තාක්ෂණය සුවිශේෂි වන්නේය.

මෙලෙසින් නගරය අභ්‍යන්තරයට ජලය රැස් කරවා අැති අතර නගර අලංකරණය සඳහා වතුර මල් භාවිත කළ බවත්, පොකුණු අලංකරණය සඳහා පස් පියුම්ද, වර්ණවත් මත්ස්‍යයින්ද, හංසයින්ද ඇතිකළ බවත් මහාවංශයෙහි සඳහන්ව ඇත.

එදා සශ්‍රීක පුරවරයක් වූ රජරට ප්‍රභාවත් කළාවූ ඒ අපූරු පොකුණු, උයන්වතු අද නෂ්ටාවශේෂ බවට පත්වී තිබේ. කාලයේ වැලි තලාවෙන් වැසී ගිය ඒ ප්‍රෞඪ ඉතිහාසයේ පැවති ක්‍රමානුකූල නගර සැලසුම්කරණය හා වාරි සැපයුම් ක්‍රම වර්තමාන නගර සැලසුම් ශිල්පීන්ටද උදාහරණ වෙයි.

ඒ නිසාම ජල කළමනාකරණයටත් උයන් නිර්මාණයටත් නිදසුන් සපයන අනුරපුර පිහිටි රන්මසු උයනේ තතු මෙසේපෙළ ගස්වමු.

උතුරෙන් මිරිසවැටි විහාරයෙන්ද, දකුණින් ඉසුරුමුණි විහාරයෙන්ද, බටහිරින් තිසාවැව් තාවල්ලෙන්ද වටවී ඇති රන්මසු උයන අක්කර හතළිහක් පුරා පැවතුණු සුවිශාල භූමි ප්‍රදේශයකි. අද නටබුන්ව ඇති මෙය අතීත රජ දවස සොබා සිරියෙන් ආඪ්‍ය වූ රමණීය පෙදෙසක් බව බැලූ බැල්මටම පෙනීයයි.

IV වැනි මිහිඳු රජුගේ වෙස්සගිරි සෙල්ලිපියේ සඳහන් ආකාරයට මෙම උයනෙහි පොකුණුවල රන්වන් මත්ස්‍යයින් ඇතිකර ඇත. එසේ රන්වන් මත්ස්‍යයින් සිටි බැවින් ‘රන්මසු උයන’ වූ බව එහි සඳහන්ය.

මීට අමතරව මෙම උයන මඟුල් උයන ලෙසද හඳුන්වයි. ඒ රජුන්ගේ සුඛ විහරණය සඳහා මෙම අලංකාර උයන සකසා ඇති බැවිනි.

ඒ කුමන හේතුවක් නිසා​ හෝ නිමවා ඇති රන්මසු උයනේ අතිවිශිෂ්ට ජල සැපයුම් ක්‍රමයක් තිබූ බව එහි පවතින නෂ්වටාශේෂ පිරික්සීමේදී පැහැදිලි වෙයි.

තිසා වැවේ ජල මට්ටමේ සිට අඩි තිහක පමණ පහළින් මෙම උයනේ පොකුණු පිහිටුවා ඇත. මේ හේතුව නිසා සෘජු ඇළ මාර්ගයකින් පොකුණට ජලය ලබාගත නොහැක. එම නිසා තිසා වැවේ වතුර ප්‍රධාන සොරොව්ව හරහා ලබාගෙන සොරොව්වෙන් ගලා යන ජලය කාණු පද්ධතියක් ඔස්සේ පොකුණුවලට ගෙනයාමට සලස්වා ඇත. මේ සඳහා අඩි 2650 ක් පමණ දිග ගඩොලින් නිමකළ කාණු පද්ධතියක් සකසා තිබේ. මෙහි ඇති තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ උයනේ පිහිටි පොකුණු එකිනෙක භූගතව සම්බන්ධ කර තිබීමයි.

මෙහි ඇති එක් පොකුණක් හතරැස්ය. එහි පැත්තක දිග අඩි 21කි. පොකුණ පැති වටේටම බදාම තට්ටු දෙකක් දමා ඇත. දෙපස පිහිටි පියගැට පෙළින් පහළට බැසිය හැකිය. පිටතින් පැමිණෙන ජලය පොකුණට ගලා නොඑන ලෙස ගල් තට්ටු දමා ඇත. පොකුණේ සිට අඩි 70ක් පමණ දිග කාණුවක් පොළව අභ්‍යන්තරයේ ඇත. එහි පළල අඩි තුනකි. මෙම පොකුණේ අතිරික්ත ජලය එම කාණුව ඔස්සේ ගලා ගොස් තවත් පොකුණකට වැටේ. එහි ජලය උයනේ තිබූ විසිතුරු මල් ගොමුවලට භාවිතයට ගන්නට ඇතැයි විද්වත් විශ්වාසය වේ.

මෙම පොකුණට බටහිර පෙදෙසින් තවත් කුඩා පොකුණු කීපයකි. ඊට එපිටින් ‘‘ධාරා’’ ගෘහ නම්වූ ගොඩනැගිල්ලක් සහිත පොකුණකි. එහි දිග 24×4 සහ පළල 12×3කි.

මේ පිළිබඳව ඇති මතය වන්නේ එය රාජකීයයන් ජල ක්‍රීඩා කළා ස්ථානයක් යන්නය. එනම් ධාරා ගෘහය ඇඳුම් මාරු කර ගැනීමට නිමවා ඇති බවත් පා ධෝවනයට වෙනම ස්ථානයකුත් පොකුණට බැසීමට පඩිපෙළකුත් සහිත මෙහි ජලය ලබාගැනීමට මෙන්ම ජලය පිට කිරීමට කාණු පද්ධතියකුත් නිමවා ඇත.

රන් මසු උයනේ ඇති තවත් විශේෂ නිර්මාණයක් වන්නේ දිය අගලකින් වටවූ ගොඩනැගිල්ලක් නෂ්ටාවශේෂය. ඇතැම් විට එය රජවරුන් නිදහස් සුවය විඳීමට භාවිත කරන්නට ඇත. මෙම දිය අගල හා නෂ්ටාවශේෂ වූ ගොඩනැගිල්ල දෙස දුර සිට බලන විට ටජ් මහලට යන පාර දෙපස ඇති අලංකාර ජල තටාකවල ස්වරූපය මැවෙනු ඇත.

සැබැවින්ම එදවස සුන්දර ස්ථානයක්ව පවතින්ට ඇතැයි සිතෙන මෙම ස්ථානය සාලිය අශෝකමාලා පෙම් කතාවේද එක් සන්ධිස්ථානයකි. එනම් අතීත පුරාවෘත්තවලට අනුව රන්මසු උයනට ටික දුරකින් අශෝකමාලා විසූ හෙරලෝලිගම නම් ගම්මානය පිහිටා ඇත. එහි ජීවත්වූ අශෝකමාලා සාලිය කුමරුට හමුවන්නේ මේ අලංකාර උයනේදීය. මේ උයනේ තිබී හමුවූ ඉසුරැමුණි පෙම් යුවල සාලිය – අශෝකමාලා කැටයමක් ලෙස නම් කිරීමට හේතුවත් ඒ අවස්ථා සම්බන්ධය වන්නට පුළුවන. එබැවින් ටජ් මහල සේම මෙම ස්ථානයත් ආදරණීය ස්ථානයක් වන්නට ඇත.

මෙවැනි පිහිටීමක් ඇති රන්මසු උයනේ ජල සැපයුම් ක්‍රමවේදය මිනිස් සිරැරේ ස්නායු පද්ධතියට සමාන බව එච්.සී.පී.ද බෙල් මහතාගේ අදහසයි.

කෙසේ වුවද දේවානම්පියතිස්ස රජු දවස සිට එක් එක් රජ දරුවන්ගේ පාලන කාලයන්හි විවිධ වෙනස්කම්වලට ලක්වෙමින් පැමිණි රන්මසු උයනේ තවත් සුවිශේෂත්වයක් අැත.

එනම් තිසාවැවේ සිට කාණු පද්ධතියක් ඔස්සේ ලබාගන්නා ජලය රන්මසු උයනේ පොකුණුවලටත් එම පොකුණුවල අතිරික්ත ජලය ඉසුරුමුණිය අවට කුඹුරුයායටත් ගලායාමට සලස්වා ඇත. ඉන් නගර අලංකරණය සේම ආර්ථික සුරක්ෂිතභාවයද සුරැකී ඇත.

මේ ආකාරයට අතීත හෙළ දරුවෝ නගර අලංකරණය, සනීපාරක්ෂාව, නගරය සිසිල්ව තබාගැනීම, කෘෂි කර්මාන්තය දියුණු කිරීම, නියඟ හා දුර්භික්ෂවලට මුහුණදීම යනාදී සියලු කර්තව්‍යයන්ට ක්‍රමානුකූල නගර සැලසුම්කරණය හා ජල සැපයුම්කරණය සිදුකර ඇති බව පෙන්වා දිය හැකිය.

එදා ඔවුන් භාවිත කළ වාරි ඉංජිනේරු තාක්ෂණය වත්මන් නගර සැලසුම්කරණයට අදාළ කරගන්නේ නම් නියඟ, දුර්භික්ෂ හා ගංවතුර මිනිසාට ගැටලු නොවනු ඇත. එබැවින් උදාර ජල ශිෂ්ටාවාරයක නිදහස් අනාගතයට ආභරණයක් කර ගැනීම ඔබට භාරය.