දැදිගම ඇත් පහනේ භෞතික විද්‍යාත්මක පදනම …

දැදිගම ඇත් පහන පොළොන්නරු යුගයේ නිර්මාණකරුවන් විසින් නිර්මාණය කළ අගනා ඉංජිනේරු විස්කමක්. විදුලි ආලෝකය නැති යුගයක රෑ පුරා දැල්වෙන පහනක් කියන්නේ වැදගත් නිර්මාණයක්. නමුත් එහි ඇති ගැටළුව වෙන්නේ පහන රෑ පුරා දැල්වෙන්න නම් අපිට වරින් වර පහනට තෙල් දාන්න සිදු වෙන එකයි. මුළු රෑටම අවශ්‍ය කරන තෙල් ප්‍රමාණය එක වර දැම්මොත් පහන් තිරය තෙල් වල ගිලෙනවා. ඇත් පහන සාදා තියෙන්නේ මේ දුශ්කරතා දෙකම මග හැර ගන්නට පුළුවන් ලෙසටයි.

ඇත් පහනේ තෙල් ගබඩා කරන්නේ පහන් තැටියට උඩින් සවි කර තිබෙන ඇතාගේ උදරය තුළයි. පහනට තෙල් පුරවන විට ඇතා සහිත කොටස පහන් තැටිය මත ඇති ආධාරක වලින් ගලවා, ඇතා උඩු යටිකුරු කරවා ඇතාගේ ඉදිරිපස පාද අසළ A නම් ස්ථානයේ ඇති සිදුරින් තෙල් වක් කළ යුතුයි. මේ වත්කරපු තෙල් රූපයේ පෙන්වා ඇති බටය දිගේ ගොස් ඇතාගේ උදරයේ පිරෙනවා. පහන නිසි පරිදි ක්‍රියාත්ම වීමට අවශ්‍ය තෙල් පරිමාව දක්වා ඊට තෙල් පුරවන්න පුළුවන්. දැන් නැවත් ඇතා උඩුකුරු කළත් උදරයේ ඇති තෙල් මුල් මාර්ගය ඔස්සේ එළියට එන්නේ නෑ. මොකද තෙල් වත් කළ බටය ඇත්තේ උදරය තුළ B වල ද්‍රව මට්ටමට වඩා ඉහළින් නිසා.


තෙල් වලට දැන් පිටවීමට ඇති එකම මාර්ගය ඇතාගේ ලිංගය හරහා ඇති C සිදුර ඔස්සේ පමණයි. ඒ නිසා තෙල් බිංදුවෙන් බිංදුව ඇතාගේ ලිඟුව ඔස්සේ පහන් තැටියට වැස්සෙනවා. ඒ තෙල් වලින් පහන් තිරය දැල්වෙනවා.

නමුත් යම් ආකාරයකින් මේ තෙල් වෑහෙන සීඝ්‍රතාව පහන් තිරය විසින් තෙල් දහනය කරන සීඝ්‍රතාවට වඩා වැඩි නම් තිරය තෙල් වල ගිලී, පහන නිවී යෑමේ අවදානමක් තියෙනවා. එ ගැටළුව මග හරවාගෙන ඇත්තේ මෙහෙමයි. පහන් තැටියේ තෙල් මට්ටම ක්‍රමයෙන් වැඩි වන විට එමගින් A ස්ථානයේ ඇති සිදුර අවහිර වෙනවා. එතකොට උදරය තුළ B ස්ථානයේ සහ පිටත වායුගෝලය අතර ඇති සම්බන්ධතාව බිඳ වැටෙනවා. දැන් තවදුරටත් C ඔස්සේ තෙල් පහළට වටුණොත් B තුළ පීඩනය වායුගෝලීය පීඩනයට වඩා අඩු විය යුතුයි. නමුත් එහෙම අඩු පීඩන තත්වයක් ඇති කරන්නට තරම් C හි ඇති ද්‍රව කඳ ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ඇතාගේ ලිඟුව ඔස්සේ තෙල් වෑස්සීම නතර වෙනවා. ඉන් පහන් තිරය තෙල් වල ගිලී යාමේ අවදානම නැති වෙනවා. නමුත් පසුව තැටියේ ඇති තෙල් තිරය ඔස්සේ දැවී යද්දී, තැටියේ ද්‍රව මට්ටම පහළ යෑම නිසා A ස්ථානයේ සිදුර නැවත වායුගෝලයට විවෘත වුණාට පසුව, පෙර පරිදිම තෙල් වෑස්සීම සිදු වෙනවා. ඒ අනුව මුල් අවස්ථාවේ තෙල් දැමූ පසු මුළු රෑ පුරාම බාහිර බලපෑමකින් තොරව දැල්වීමට ඇත් පහනට හැකියාව ලැබෙනවා. වසර දහසකට පමණ පෙර නිර්මාණය කළ මේ ඇත් පහන අපේ රටේ පැරණි ලෝහ ඉංජිනේරු ශිල්පයේ හැකියාව විදහා දක්වනවා.

Please follow and like us:
0

Add a Comment

Your email address will not be published. Required fields are marked *

Close

Enjoy this blog? Please spread the word :)

  • RSS
  • Follow by Email
  • Facebook
    Facebook
  • Google+
    http://ithihasa.org/2018/01/16/%E0%B6%AF%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%B8-%E0%B6%87%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%84%E0%B6%B1%E0%B7%9A-%E0%B6%B7%E0%B7%9E%E0%B6%AD%E0%B7%92%E0%B6%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%AF">
  • Twitter
  • Instagram