ඉතිහාසය වෙනස්කල පනාකඩුව තඹ සන්නස …

‘‘පාසල අරිලා මම ගෙදර ආවේ වෙලේ නියර දිගේ අතට අහුවෙන ගල්වලින් දිය පාරට දමා ගහමින් එකිනෙකා පොරකමින් කොල්ලො කුරුට්ටෝ කිහිප දෙනෙක් එක්ක මම ආවා. අපේ ඉස්සරහට ආපු මාමා කෙනෙක් කීවා අන්න කොල්ලෝ උඹලෑ අප්පුච්චට නිදානයක් ලැබිලා කියලා. අපි එක පාරටම ගෙවල් පැත්තට දුවගෙන ගියා. මම යනකොට ගෙදර මිනිස්සු පිරිලා. අප්පුච්චා මොකද්දෝ තහඩුවක් වගේ එකක් සුද්ද කරනවා. මම දුවගෙනම අප්පුච්චා ලගට ගියා. මේං බොලා මම කුඹුරෙන් අරගෙන ආවේ. බලපං කියලා මගේ අතට දුන්නා. ඒක මොකක්ද කියලා මටනම් තේරුණේ නෑ ’’

එදා එකොළොස්වැනි වියෙහි පසුවූ සුරවීරගේ අර්නෝලිස් මහතා අද 74 වැනි වියෙහි පසුවෙයි. අමුඩ ලේන්සුවකින් සැරසී කුඹුරට යාමට සූදානම්ව සිටින ඔහු මෙතෙක් ශී‍්‍ර ලංකාවේ හමුවූ අති විශිෂ්ඨතම ඓතිහාසික ලේඛණය පිළිබඳ තම මතකය අවධි කළේ ඒ ආකාරයෙනි.

ඒ පනාකඩුව තඹ සන්නසයි. 1948 පෙබරවාරි මාසයේ දිනක මොරවක් කෝරලයේ පනාකඩුව නම් දුෂ්කර ගම්මානයේ බෝගහදෙණිය නම් තම කුඹුර කොටමින් සිටි සුරවීරගේ කරෝලිස් අප්පුහාමි නම් ගොවි මහතාට මේ වටිනා තඹ සන්නස හමුවී තිබේ.

‘‘ අපේ බෝගහකුඹුර ඉඩම කොටමින් ඉන්නකොට අප්පුච්චාගේ උදැල්ල තද දෙයක වැදිලා. ඒක ගලක් වගේ නොදැනුණු නිසා විපරම් කරලා බලනකොට තමයි මේ තහඩු තුනක් හමුවෙලා තියෙන්නේ. ඒක ගෙදර අරගෙන ආවේ වටිනා දෙයක් වෙන්න ඇති කියලා හිතාගෙන. ගමේ හැමෝටම මේ ආරංචිය පැතිරිලා ගිහින් තිබුණා. මේ නිධානය බලන්න කට්ටිය ගෙදරට එන්න පටන්ගත්තා. අප්පුච්චා ගොරක දාලා තම්බලා ඒකේ තිබුණු මළකඩ ඉවත් කළා. එතකොට හැමෝම කිව්වේ මේක තඹ තහඩු තුනක් කියලා. ’’

ඔහු පවසන්නේ ගමේ උගතා වූ කොප්පර කොටුවේ වෙදමහතා ද තවත් පිරිසක් සමග පැමිණ මේ තඹ තහඩු නිරීක්ෂණය කළ බවයි.

‘‘ ඒ තහඩුවල මොනවාද අකුරු වගයක් තිබුණා. ඒත් අපි කාටවත් ඒවා කියවන්න බැහැ. සමහර අකුරුනම් කියවන්න පුළුවන් වගේ පේනවා. හැමෝගෙම අදහස වුනේ මේකෙ මන්තර කොටල තියෙනවා කියා. අප්පුච්චාට  ඕන වුනා මේකෙ රත්තරං තියෙනවාද කියා බලාගන්න. ඒ නිසා දවසක් මේකේ එක මුල්ලකින් පොඩි කෑල්ලක් කපාගෙන මාත් එක්ක අකුරැුස්සට ගියා. අකුරැුස්සේ රත්තරං වැඩ කරන තැනකට ඒ පොඩි කෑල්ල දුන්නම ඒ අය මොකක්දෝ දියරයකට දාලා කිව්වා මේකේ රත්තරං නැහැ තනිකරම තඹ තියෙන්නේ කියලා. අප්පුච්චාගේ බලාපොරොත්තු ඔක්කොම සුන් වෙලා තමයි අපි දෙන්නා ගෙදර ආවේ. එදා ගෙදර ඇවිත් අප්පුච්ච මේ තහඩු තුන කොට්ට උරේක ඔතලා වී මල්ලක් ඇතුලේ දාල තිබුණා. ’’

තඹ තහඩු කෑලි තුනට කිසිදු වටිනාකමක් නොමැති බව සක්සුදක් සේ පැහැදිලි වෙද්දී වරක් හීනෙන් පැමිණි අයෙක් කරෝලිස් අප්පුහාමිට පවසා ඇත්තේ මේක ඉතාමත් වටිනා දෙයක් ඒ නිසා ළග තියා ගන්න එපා යනුවෙනි.

එහෙත් එයට කරන්නට දෙයක් වූයේ නැත. ටික දිනක් යද්දී තම අප්පුච්චා රෝගාතුර වූ බවත් එක දිගට කරදර තම පවුලේ උදවිය සොයා ආ බවත් අර්නෝලිස් අදටත් සිහිපත් කරන්නේ බිය මුසු හැගීමකිනි. තඹ තහඩු තුන ලැබී මාස පහක් යද්දී පියාගේ තට්ටම් ප‍්‍රදේශයේ ගෙඩියක් හටගෙන එකතැනට වී දුක්විදින්නට වූ බව ද මේ සියල්ල ආගන්තුක තඹ තහඩු හේතුවෙන් ඇති වූ බව සියල්ලන්ගේම අදහස වූ බව ද ඔහු පවසයි. මේ නිසාම අපල ගෙන දෙන තහඩු තුන නිවසෙන් ඉවත්කළ යුතුයැයි ඔවුන් තීරණය කැර තිබේ.

‘‘ අප්පුච්චාගේ මස්සිනා තමයි බෙංගමුව පන්සලේ නායක හාමුදුරුවෝ. බෙංගමුව චේතියකන්දරාරාමයේ විහාරාධිපති මොලොක්ගමුවේ සරණපාල හාමුදුරුවන්ට මේ තහඩු තුන දුන්නා. ටික කාලයකට පස්සේ මේ තහඩු තුන බලන්න ආපු ඌරාපොළ ශී‍්‍ර රතනජොති පිරිවෙනේ කඹුරුපිටියේ වනරතන හාමුදුරුවෝ තඹ තහඩු තුන අරගෙන ගිහින්. ටික දවසකින් මෙන්න බොලේ පොලීසියේ කට්ටියකුත් එක්ක මහත්වරු වගයක් අපේ ගෙදරට ආවා. අපි හොඳටම භය වුනා. වෙන්නේ මොකක්ද කියලා බලන්න අපේ ගමේ කට්ටියත් දුවගෙන ආවා. ’’

පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතා (පසුව මහාචාර්ය) ඇතුළු පිරිසක් මේ තඹ තහඩු තුන ද රැගෙන පැමිණ සිටියහ. නිවසට පැමිණ තම අප්පුච්චා සමග කතා බහේ යෙදුණු ඔවුන් තඹ තහඩු තුන ඉතා වටිනා තඹ සන්නසක් බව කියාසිටි ආකාරය අර්නෝලිස්ට තවමත් මතක තිබේ. එය ඉතා වටිනා තඹ සන්නසක් බවත් මහා විජයබාහු රජ්ජුරුවන් කුඩා කල රුහුණේදී හදාවඩාගත් සෙනෙවියකුට තෑගි බෝග දුන් ආකාරය මෙම සන්නසේ සඳහන් වන බවත් සෙනරත් පරණවිතාන මහතා කියා තිබේ.

ඒ කට්ටිය අපේ අප්පුච්චත් එක්ක තඹ සන්නස ලැබුණු කුඹුරට ගියා. ගොඩක් අය ඇවිත් හිටියා. ගමේ තව ගල්කණු එහෙම තියෙනවද ගරා වැටුණු ගොඩනැගිලි තියෙනවද කියලත් ඇහුවා. වෙලේ හැමතැනම පරීක්ෂා කළා. පරණවිතාන මහත්තයා ගස් හෙවණකින් වාඩිවෙලා තඹ තහඩුව අතට අරගෙන හරියට දැන් පොතක් කියවනවා වගේ ඒකේ තියන දේවල් කියවාගෙන කියවාගෙන ගියා. ඒ කියන ගමන් අප්පුච්චාට ඒකේ තේරුම කියා දුන්නා.

පළමු වැනි විජයබාහු රජු විසින් කරන ලදැයි සැලැකෙන රාජකීය ප‍්‍රදානයන් ඇතුළත් මේ තඹ සන්නස පනාකඩුවෙන් සොයාගත් බැවින් අද එය හැඳින්වෙන්නේ පනාකඩුව තඹ සන්නස යනුවෙනි. මෙය තඹ තහඩු තුනක ලියා ඇති අතර ඉන් එකක දිග අඩි එකයි අඟල් දෙකහමාරකි. පළල අගල් තුනක් හා සාමාන්‍ය ඝනකම අගලකින් අටෙන් එකක් වේ. මේ සන්නස රාත්තල් දෙකකුත් අවුන්ස දෙකහමාරක් බරැතිය.  මෙහි පත්ඉරු තුනක් තිබේ. එක් ඉරුවක පේළි හත බැගින් ලියූ අකුරු පේලි විසි අටකි. සාමාන්‍ය අකුරක් සෙන්ටිමීටර 1.2 ක් උසැති අතර පළල මිලිමීටර නමයක් බව එපිග‍්‍රැෆියා සිලනිකා නම් ස`ගරාවේ පස්වැනි වෙළුමේ පළමු කාණ්ඩයේ දැක්වේ.

මුල් තඹ ඉරුවෙහි ඇතුල්පැත්තේත් මැද ඉරුවෙහි දෙපැත්තේමත් අවසන් ඉරුවේ ඇතුල් පැත්තේත් පමණක සටහන් තබා තිබේ. එහි එක්පැත්තකින් බැඳ තිබූ බවට අනුමාන කළ හැකි සිදුරු දෙකක් ද දක්නට ඇත.

සන්නස ප‍්‍රදානය කරමින් රජු ආඥා නිකුත් කරන්නේ බුදල්නාවන්ගේ පරපුරේ යම් අයකු ද`ඩුවම් කළ යුතු වරදක් කර ඇතත් වරද තීරණය කොට කරනු ලබන තර්ජනයකින් මිස දඩුවමක් නොකළ යුතු බවයි. සිර ගේ දැමීම හෝ මරණ දණ්ඩනය නියමකළ යුතු වරදක් කළේ වී නමුත් තුන්වන වාරය දක්වා සමාව දිය යුතු බවයි. එමෙන්ම ඔවුන්ගේ ඉඩම් කොටස් හෝ පරවෙණි ගම් නොගැනීම ද , යම් පමණ රාජද්‍රෝහී කමක් කළත් රජුම ඔහු වෙත ගොස් බලා අභය දානය කොට රටින් පිටුවහල් කරනු මිස නිග‍්‍රහ නොකිරීමටද තම ක්ෂතී‍්‍රය පරපුර වන්නා වූ ඔකාවස් රාජ පරම්පරාව විසින් මතුවට ද සිත් තබාගත යුතු බව පවසමිනි.

කි‍්‍රස්තු වර්ෂ 1087 හෝ ඒ ආසන්න වර්ෂයකදී අනුරාධපුරයේදී ප‍්‍රදානය කළ තඹ සන්නස එකිනෙකාගේ අතට පත්වී අවසානයේ පොළොවේ ගිලී තිබී යළි අනුරාධපුරයේදී මහාචාර්ය සෙනරත් පරණවිතාන අතට පත්වූයේ වර්ෂ 850 ටත් පසුවය. එකල තිබූ දේපොළ පිළිබඳ ආඥා පනත අනුව මේ තඹ තහඩුව සම්බන්ධයෙන් කටයුතු කිරීම තරමක් පැටලිලි සහිත දෙයක් වී තිබේ. මෙය සොයාගත් තැනැත්තා ඒ පිළිබඳ බලධාරීන්ට දන්වා තිබුණේ නැත. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලැබුණේ වෙනත් පාර්ශවයක් මගිනි. ඒ නිසා පරිත්‍යාග ලැබීමට අර්නෝලිස් මහතාගේ අප්පුච්චා වූ කරෝලිස් අප්පුහාමි සුදුස්සකු වූවේ නැත.

‘‘ හදිසියේම මහත්වරු වගයක් ඇවිත් අපෙ අප්පච්චීගෙන් ඇහුවා අර තඹ සන්නස ගැන දැනගත්තු අගමැති තුමා තෑග්ගක් දෙන්න තීරණය කරලා තියෙනවා ද කියා. එතකොට එයාලා ඇහුවා ඉඩම් අක්කර පනහක් දෙන්න ද නැතිනම් රුපියල් 500 ක් දෙන්න ද කියලා. මේ 1950 අවුරුද්දේ අවුරුදු මාසය වගේ තමයි මට මතක. ඉතින් අපි හැමෝම කිව්වේ අපට රුපියල් 500 ක් දෙන්න කියලා. ඊට ටික දවසකට පස්සේ අගමැති ඞී.එස්.සේනානායක මහත්තයා ආපු වෙලාවේ අපේ තාත්තාට එතුමාගේ අතින් රුපියල් 500 ක් දුන්නා. ඒක මහා නිධානයක් ලැබුණා වගේ. බැංකුවට සල්ලි දාලා පොත තමයි ලැබුණේ. ඉදලා හිටලා අප්පුච්චා ගිහින් රුපියල් 10 ක් විතර අරගෙන ඇවිත් මාසයක් විතර අපි හොඳට කනවා බොනවා. ඒ විතරක් නෙවෙයි අපේ අයියාගේ මංගල්‍යය ජයටම ගත්තේ ඒ සල්ලි වලින්. ’’ අප්පුච්චා ජීවත් වූ නිවස දැන් දක්නට නැත. එය නවීකරණය කැර තිබේ. පනාකඩුව ගමගේ බේබි හාමි සමග විවාහ වී සිටි කරෝලිස් අප්පුහාමිට දරුවන් අටදෙනෙකි. සයිමන්. චාර්ලිස් සිඤ්ඤෝ නමැති වැඩිමහල් සොහොයුරන් තිදෙනකු ද ජිනදාස නම් බාල සහෝදරයෙක් ද අර්නෝලිස් ට සිටියේය. ඩිංගිහාමි සහ රත්නවතී නැමැති සොහොයුරන් දෙදෙනකුද දැනට නම මතකයේ නැති සොහොයුරියක ද සිටින බව අර්නෝලිස් පවසයි. අර්නෝලිස් පවසන්නේ සන්නස නිසා මුදල් ලැබුණ ද තම පරපුර ගොවිතැන් කටයුතු අතහැර නොදැමූ බවයි.

පාසල්  පෙළ පොතෙහි අටවැනි ශ්‍රේණියේ සිංහල පොතේ මේ ගැන සඳහන් වූ බැවින් පනාකඩුව තඹ සන්නසේ කථාව මුළු රටම දන්නා කරුණකි. පනාකඩුවේ තරුණ තරුණියෝද ඒ ගැන දනිති. එහෙත් තඹ සන්නස ලැබුණු ස්ථානයත් හමුවූ පවුලේ උදවිය ගැනත් දන්නේ ටික දෙනකු පමණි. මෙරටින් හමුවූ වටිනාම ලේඛණය ලෙස තවමත් පිළිගන්නා පනාකඩුව තඹ සන්නස හමුවූ ස්ථානයේ කුඩා ස්මාරකයක් හෝ සකස් කිරීම සුදුසුයැයි අප සමග මේ ගමනට එක්වූ විශ‍්‍රාමලත් විදුහල්පති ජයතිස්ස කුමාරසිංහ මහතා කීවේය.

පනාකඩුව ගම්මානය තවමත් නූතන සංකීර්ණ ලෝකයෙන් ඈත්ව පිහිටි ගැම සුවඳ වහනය වන දුෂ්කර ගම්මානයකි. එහි ගැමියෝ බතින් බුලතින් සරු සාර තම ගමේ සෑම අස්සක් මුල්ලක් නෑර වගා කරති. රජ පරපුරක ඇත්තෝ ජයකෙහෙළි නැංවූ මේ ප‍්‍රදේශයේ පැරණි නෂ්ඨාවශේෂ දක්නට නොලැඹුන ද වෙහෙරතැන්න නමින් හැඳින්වූ තැනක් පිළිබඳවත් මාඋනාවල උමගක් ගැනත් ගැමියන් පවසන්නේ ගවේෂණය කළහොත් අතීත නටඹුන් මතුකැරගත හැකිවේයැයි සඳහන් කරමිනි.

…………………….

සිංහ‍ලේ ශ්‍රේෂ්ඨ නරපතියෙක් වූ පළමුවැනි විජයබාවන්විසින් (1055-1110) තමන්ට උදව් උපකාර කළ සිත්තරු බිමි බූදල්නාමනමි දණ්ඩ නායකයාට ප්‍රදානය කරන ලද්දා වූ පනාකඩුව තඹ සන්නස මඟින් රාජකීය වරප්‍රසාදපිළිබඳව කියවෙයි

පුරාවිද්‍යා ‍ අගයෙන් යුතු වූ පනාකඩුව තඹ සන්නස මෙරටදී හමු වු පැරනිතම තඹ සන්නස ද වෙයි

අනුරාධපුරයේ රජ කළ හතරවැනි මිහිදු රජුගේ පුත් පස්වැනි සේන රජුගේ පුත‍්‍ර රත්නය කාශ්‍යප බව ද කාශ්‍යප රජුගේ පුතු මොග්ගල්ලාන බව ද උලකුඩය දේවියගේ ගැන සඳහන් සෙල්ලිපියකින් තහවුරු වී ඇත. මොග්ගල්ලාන ලෝක ශාසන විෂයෙහි පණ්ඩිතයකු බවට පත්ව රෝහණ දේශය පාලනය කරමින් විසුවේය. ඔහුගේ බිසව වූයේ දාඨෝපතිස්ස රජුගේ පරපුරේ උපන් බෝධි නම් රජකුමරකුට දාව එම වංශයෙහිම බුද්ධා නම් කුමරිය ලෝකිතා නම් කුමරියක වැදුවාය. මොග්ගල්ලානගේ බිසව වූයේ ලෝකිතා කුමරියයි. මේ යුවළට කිත්ති, මහින්ද, රක්ඛිත සහ මිත‍්‍රා නම් දරු සිවුදෙනෙක් වූහ. තෙලෙස් වැනි වියට පත් කිත්ති කුමාරයා ධනු ශිල්පයෙහි අති දක්ෂයෙක් වූවේය. හෙතෙම බුද්ධරාජ හෙවත් බුදල්නා නැමැති සෙනෙවියකුගේ රැකවරණය යටතේ රුහුණේ ගම්දනව්හි ජීවත් වූ බව අපගේ වංශකථා සාක්ෂි දරයි. කිත්ති කුමාරයා රුහුණේ සිට සේනාරැස්කොට චෝලයන් සමග සටන්වැදී මහා විජයබාහු නමින් රජවූවේය.

පනාකඩුව තඹ සන්නස යනු ලක්බිම එක්සේසත් කැර සොළීන්ගෙන් මේ රට මුදා ගැනීමට කුඩා කල පටන් තමන්ට උදව් උපකාර කළ රුහුණු සෙන්පති සිත්තරුබිම් මහළු බුදල්නාවන්ට මහා විජයබාහු රජතුමාගෙන් ලැබුණු වරදාන පිළිබඳ ලේඛණයයි.තම කුඩා කාලයේ විඳින්නට වූ දුක් ගැහැට පිළිබඳ රජතුමාගේම වචන වලින් එහි සඳහන් කැර තිබෙන්නේ ඉතා කෙටියෙන් වුවත් බොහෝ මානුෂික හැගීම් ජනිත කරවන ආකාරයෙන් බව මහාචාර්ය පරණවිතාන මහතා පවසයි. ඒ අදහස් සෘජුව සහ අවංකව සටහන් කොට තිබීමත් සිත් කා වදින වචන යොදා ගැනීමත් විශේෂත්වයකි. පරණවිතාන මහතා පවසන්නේ තම ආඥාවක් යටතේ ලියවුණු ලේඛණයකින් තමන් ගැන තමන්ම සඳහන් කරන රජකු මුල්වරට හමුවූයේ පනාකඩුව තඹ සන්නසින් බවයි. ලංකාද්වීපය එක්සේසත් කොට විසි වසක් ඉක්මවූ හෙවත් රජ පැමිණ විසි හත් වසක් ඉක්මවූ කැති සමයේ දෙවැනි වප් මස අවත සතවත් දිනයක අනුරාධපුර රාජ මාලිගාවේ දී සහෝදර වූ ආදිපාද, මහාදිපාද යුවරජ ආදී රාජ සමූහයා සහ සියලූ අමාත්‍ය මණ්ඩලය අභිමුඛයේදී මේ සන්නස මහළු බුදල්නාවන්ට පිරිනැමූ බව එම ලේඛණයේම දැක්වේ.

තඹ සන්නසේ මෙසේද දැක්වේ.

‘‘ රුහුණු දඩනායක සිත්තරු බිම් බුදල්නාවන් අප සොළී දෙමළුන්ගෙ ආයුධ බලයෙන් ස්වකීය රාජ්‍ය බලයෙන් පිරිහී වනයෙහි සැගවී වාසය කරන කල අප පියා වන මහා ස්වාමි මුගලන් රාජෝත්තමයාණන් වහන්සේ ආදී සම්පූර්ණ රජ පවුල සිය පිරිසෙන් ආරක්ෂා කොට අප බාල කාලයෙහි හදා වඩා මුල් පල ආහාරවලින් පෝෂණය කොට පා තැබූ තැබූ තන්හි සොයමින් හැසිරෙන සතුරන් කෙරෙන් වලකා තැන් තැන්වල යුද්ධ කොට රුහුණු ජනපදය නැවතත් එක්සත් කොට වනයෙන් ඉවත් කොට ස්වකීය රාජ්‍යයෙහි පිහිටුවා’’ යනුවෙන් බුදල්නාවන් විජයබාහු රජුට කළ උපකාර මේ තඹ සන්නසෙහි සිහිපත් කොට තිබේ.

පුරාවිද්‍යා චක්‍රවර්තී කඹුරුපිටියේ වනරතන නාහිමියෝ මෙම තඔ සන්නසෙහි අප්‍රමාන වටිනාකම ලොවට හෙලික‍ලේසිංහල ඉතිහාසයේ බොහෝ සිදුවිමි සත්‍ය බව ප්‍රකට කරවමින් මෙන්ම ඊට තවත් පරිචිඡේදයක් ද එක්කරමිනි

පනාකඩුවෙන් සොයාගන්නාලද මෙම තඔ සන්නසට පෙර ඉතිහාසඥයින් විස්වාස කලේ පැරනිතම තඹ සන්නස නිශ්ශංක මල්ල රාජසමයට අයත් බවකි එ‍හෙත්ඊට පෙරද තඹ සන්නස් ලියූ බව මෙමලින් තහවුරුවේ.

දිගින් අඩියකුත් අඟල් එකහමාරක් ද පලලින් අඟල් තුනක්ද වෙයි අඟලකින් අටෙන් එකක් පමන ගණකමක් ඇත පනාකඩුව තඹ සන්නස රාත්තල් දෙකකුත් අවුන්ස දෙකහමාරක් බරය

පනාකඩුව තඹ සන්නසෙහි පත්‍ර තුනක් වෙයි එක්පත්‍රයක පේලි හතපැලින් ඇත ඒඅනුව අක්‍ෂර පේලි විසිඅටක් එහි වෙයි පළමු සහ තෙවැනි පත්‍ර දෙකෙහි ඇතුල් පැත්තේද දෙවැනි පේලියේ ‍ මද වශයෙන් නම අන්ෂර සටයන් ව  තිබෙයි.  කෙලවර හිල් දෙකක්ද විද ඇත එය නූලකින්බැඳ පුස්කොල පොතක් ලෙස පරිත්‍යාග කොට ඇති බව එමගින් සිතීමට හැක

රුහුනේසිටි බල සමිපන්න ජන ප්‍රධානි‍යෙකු ලෙස බුද්ධරාජ හෙවත් සින්නරුබිමි බුදල්නාවන්ඉතිහාසයට එක්ව සිටී අනුරාධපුර රාජධානිය බිඳදමමින් චෝල ආක්‍රමනික රජ උරුමක්කාර‍යින් සමූල ඝාතනය කරද්දී පනරැකගනිමින් කීර්ති කුමාරයා ඇතුලු ‍රජ පවුල රෝහනයට පැමිනෙයි කීර්ති කුමරුගේ පියා වන මුගලන් රාජ්‍ය උරුමක්කාරයෙක් විය රහසේ රුහුනු මොරවක්කෝරලයට පලාගිය ඔවුහු රැකබලාගත්තේ සින්නරුබිම් බුදල්නාවන් විසිනි

කෑමට ගතහැකි කොල වර්ග පලවැල ගෙනත් දෙමින් බුදල්නාවන් විසින් මෙම රජ පවුල රැක බලාගත්බව පනාකඩුව සන්නස මගින් නොසඟවා පවසා ඇත

මහ විජයබා නමින් රජ පැමිනි කීර්ති නුමාරයාට එම ගමන ‍යාමට අවශ්‍ය සේනා සංවිදාන කටයුතු සිදු කරමින් කටයුතු කර තිබෙන්නේ බුදල්නාවන් විසින්ය මහවිජයබාවන් විසින් තමන් ඇතුලු රජ පවුලට කරනලද එම අප්‍රමාන සැලකිල්ල වෙනුවෙන් කළගුණ දැක්වීම පිණිස රාජකීය ප්‍රදානයන් පිලිබඳ වූ සන්නස අද ප්‍රකටව පවතින්නේ පනාකඩුව තඹ සන්නස ලෙසිනි

පද්‍යන් ගද්‍යන් අතර වූ චමාපු කාව්‍යමය භාෂා ‍ශෛලියක් පනාකඩුව සන්නසට වෙයි කඹුරුපිටියේ වනරතන නාහිමියන් එලෙස පෙලගස්සන ලද පබැදුමක් මෙලෙස දැක්විය හැකිය

‘රුහුණු දඩනායක සිත්නරු බිමි මුදල්නාවන් වැඩිතැන් සහ වියෙහි වඩමින් ලොවැඩ වඩා

පනාකඩුව තඹ සන්නස මගින් බුදල්නාවන්ගේ පරමිපරවෙන් පැවත එන්නන්ගෙ‍න් චඩ අයකර නොගැනිම සිරගත නොකිරීම දේපල රාජසන්තක නොකිරීම බලවත් අපරාදයක් සිදුකලද ඒසඳහා තෙවරක්ම සමාව දීම ආදී බො‍හෝ රාජකීය වරප්‍රසාද ප්‍රදානය කර ඇත

පනාකඩුව තඹ සන්නස නිසා රුහුනේ මොරවක් කෝරලයද සියලු දෙනාගේ අවදානයට යොමු වූහ මාතරට ආස්වාදයක් වූ එම මොරවක් කෝරලයේදී සුරැකි උරුමය ජාතික උරුමයක් වේ

අඩසියවසක් මුළුල්ලේ සොළීන් යටතේ තිබු සිංහල රාජ්‍යය සතුරු උපද්‍රවවලින් මුදාගත් ධ් වන විජයබාහු රජතුමා විසින් තමාට ඒ සඳහා උපකාර වූ රුහුණේ ප්‍රධානියෙකුට පවරන ලද වරප්‍රසාද පිළිබඳ වාර්තා මේ තඹ පත්ඉරුවල සඳහන් වෙයි.

එම ප්‍රධානයා දණ්ඩනායක සිත්තරුබිම් බුදල්හාවන්

ඒ ගැන පත්ඉරුවල සඳහන් වන්නේ මෙසේයි.

‘මේ ප්‍රධානියා බාල කල අප ඇති දැඩි කළේය. මහ වනයෙන් සොයා ගත් අල මුල් පලා වර්ගවලින් අප පෝෂණය කළේය. සතුරාගෙන් අප රැක ගත්තේ ය. තැන තැන සටන් කර අපට රුහුණු දේශය අවනත කරවා දී වනගත කඳුකරයෙන් අප මුදාගෙන අපගේ රාජ්‍යයේ නැවත අප පිහිටුවා ලූයේය.’

මේ සටහන එසේ මෙසේ කෙනෙකුගේ එකක් නොවෙයි. ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය රජෙකු ලෙස සලකන ධ් වැනි විජයබාහු මහ රජතුමාගේය. ලංකාවේ රජෙකු තමාගේ දුකට පත් ඉතිහාසය තමාගේ වදන්වලින් ම ලියපු එකම ලියවිල්ලත් මෙය බව පරණවිතාන මහතා කියයි.

කරෝලිස් අප්පුහාමි එදා රැක දුන්නේ එවන් අගනා ලියවිල්ලක් සටහන් කරන ලද තඹ පත්ඉරු ය.

එහෙත් මේ කතාව පිටුපස තරමක දුක්මුසු කතාවකුත් ඇති බව හෙළි වේ.

තඹ පත්ඉරු සොයා ගත් තැනැත්තා ඒ බව රජයට නොදැන්වීම නිසා කරෝලිස් අප්පුහාමිට ලැබුණේ කිසියම් සහන ත්‍යාගයකි. එය රු. 500 ක මුදලකි. මෙහි දුක්මුසු පැත්ත නම් මේ කරෝලිස් අප්පුහාමිගේ පුත්‍රයා අද ගත කරන්නේ දුක් ගොඩක වීමය. ඔහුගේ පවුලේ තොරතුරු විමසූ විට ඔහුගේ ඇස්වලින් කඳුළු ගලන්නට පටන් ගත්තේය. ඔහුට දරු සම්පත් ඇතත් දෙවියන් ඒවා ඔහුට ලබා දී ඇත්තේ අඩුපාඩු සහිතවය.

“පුතාගේ දැන් වයස අවුරුදු 42 ක්. එයා මන්ද මානසිකයි. කිසිම රස්සාවක් කරන්නට බැහැ. දුවගේ වයස අවුරුදු 33 ක්. එයා තරමක අංශභාග තත්ත්වයක සිටිනවා. මේ දෙදෙනාම අවිවාහකයි. මේ දෙමවුපියන්ට ජීවිතයේ අවසාන කාලයේ දී ලැබී ඇති ත්‍යාගය ඉතා අකාරුණික නපුරු එකකි. ඔවුහු නොවිඳිනා දුක් විඳිති. බේත් හේත්වලට යන වියදම අධිකය. පාර දුෂ්කර නිසා රෝහලට යෑමට එක ගමනකට රු. 400 ක් වැය වෙයි. ඔවුන්ගේ නිවස අබලන්ය. යන එන පාරත් අබලන්ය. ජීවිතයත් අබලන්ය.

ඔහුගේ පවුල ඇතුළු ගමේ බොහෝ අය ඉල්ලා සිටින්නේ අඩු තරමින් පනාකඩුව සිට දිවෙන පාර හෝ හදා දෙන ලෙසයි. මෙය මාවරල ප්‍රාදේශීය සභාවට අයත් බල ප්‍රදේශයකි. බලධාරීන්ගේ ඇස මේ දුක්බර ජීවිත ගත කරන මිනිසුන් වෙත යොමුවිය යුතුය. කිසියම් අයුරකින් ජාතික කර්තව්‍යයකට දායක වූ මිනිසාගේ පුත්‍රයා හා පවුල ගැන නොසලකා හැරීම අපට තරම් නොවේ.

පනාකඩුව තඹ සන්නස (අද සිංහල තේරුම සහිතව)

(අ)

1) ස්වස්ති, සිරි සිරිවන් අපරියත් ලො ඉකුත් ගුණ මුළෙන් උතුරත් මුළු දම්බදිව්හි අන් තැත් කු –

තේරුම – මංගල ශ‍්‍රියක් වේවා, ශ‍්‍රීමත් වූ අපය¸න්ත (කෙළවරක් නැති) ලෝකොත්තර ගුණ සමූහයෙන් ඉතිරෙන සකළ ජම්බුද්වීපයෙහි අන්‍ය ක්‍ෂති‍්‍රය සමූහයා

2) ල පාමිලි කළ ඔකාවස් රජ පරපුරෙන් බට කැත් උසබනට අග මෙහෙසුන් වූ ලග්දිව් පො –

තේරුම – පාද මූලයෙහි (දාසයන්) කළ ඔක්කාක රාජ පරම්පරාවෙන් පහළ වූ ක්ෂති‍්‍රයෝත්තමයනට අග‍්‍ර මහේෂිකාවක (වැනි) වූ

3) ළො යොහෙන පරපුරෙන් හිමි සිරිසඟබෝ විජයබාහු රජ පා වහන්සේ තුමා සිය විත් –

තේරුම – ලංකාදීප පෘථිවි නමැති තරුණ කාන්තාවගේ පරම්පරාගත උරුමය අනුව ස්වාමියා වූ සිරිසඟබෝ විජයබාහු (1 විජයබාහු) රජතුමන් වහන්සේ තමාගේ වික‍්‍රමයෙන්.

4) මෙන් දෙමෙළ බල මුළු අන්දුරු දුරු ලා මුළු ලක්දිව් එක් සේසත් කැරැ රජ වළන්දමින් ස –

තේරුම – ද්‍රවිඩ භට සමූහයා නමැති අඳුරු දුරු කොට සකල ලංකාද්වීපය ඒකච්ඡත‍්‍ර කොට රජ සැප විඳීමෙන්.

5) විසි හවුරුද්දක් ඉකුත් සත් ළැඟු සත් විසි වන්නෙහි කැත්තෙ සන්ද අව පස්මස්හි අවසත –

තේරුම – විසිවසක් ඉකුත්වූ (හෙවත්) ඡත‍්‍රය එසවීමෙන් (රජ බවට පත්වීමෙන්) සත් විසි වැන්නෙහි කැති සමයේ දෙවන වප් මස අව සතවත්

6) වක්දවස් නුරුපුරවරෙහි සිහසිනරා කිරුළුමිණි රසින් පළ සෙසත් කිස තවරමින් වැඩැහින් දෑ

තේරුම – දිනයෙහි අනුරුධපුරවරෙයහි සිංහාසනාරූඪ ව කිරීට මාණික්‍ය රශ්මියෙන් පැතුරුණු සේසත් ඇතුළත ආලෝක කරමින් වැඩ හිඳ

7) තමා සොවුරු ඈපා මායා යුව රජ ඈ රජගණා ප‍්‍රමුඛයෙන් සිහවිකුම් යහළ යුවළතිනුක –

තේරුම – සහෝදර වූ ආදිපාද – මහාදිපාද – යුවරජ ආදී රාජ සමූහයා අභිමුඛයෙහි සිංහ වික‍්‍රමය ඇත්තේ විය ගහ ඔසොවා දෑතින් දරමින්

(ආ 1) 1) හා ප‍්‍රහළ යසපබන්ද දසන් මෙරජවැළ ලතුළු ලවන් අත් පස්හි පාමින් රූණු දඩ –

තේරුම – ප‍්‍රවාහනය වන යසස් තේජස් ඇත්තේ දන්ත කාන්ති රශ්මියෙන් අලංකාර වුණු දෙතොල් හාත්පස්හි දක්වමින් (හෙවත් කථා කරමින්)

2) නායක පින්නරු බිම් බුදල්නාවන් අප සොළි දෙමළුන්ගෙ විබලයෙන් සිජ රජින් පි –

තේරුම – “රුහුණු දඩනායක සිත්තරු බිම් බුදල්නාවන්” අප සොළී දෙමළුන්ගෙ ආයුධ බලයෙන් ස්වකීය රාජ්‍ය බලයෙන් පිරිහී

3) රිහී ගල්වලැ වැළැහී වන අවදියැ අප පිය මහ සැමිය මුගලන් රජ පා වහන්සේ.

තේරුම – වනයෙහි සැඟවී වාසය කරන කල අප පියා වන මහා ස්වාමි මුගලන් රාජොත්තමයාණන් වහන්සේ (මෙතුමා රජ වූ බව කීවත් රජවූ බවක් සොයා ගන්නට නැත.)

4) ඈ මුළු රජකුල සිය පිරිස්නෙන් රැකැ අප සඟවියෙහි වඩා වන මුල් පලා භරණයෙන්.

තේරුම – ආදී සම්පූර්ණ රජ පවුල සිය පිරිසෙන් ආරක්ෂා කොට අප බාල කාලයෙහි හදා වඩා වන මුල් පලාහාරවලින්.

5) පුසැ ඇකුත් ඇකුත් තන්හි මඟමින් ඇසිරෙන විපකුන් කෙරෙහි වළගා කන්හි තන්හි

තේරුම – පෝෂණය කොට, පා තැබූ තැබූ තන්හි සොයමින් හැසිරෙන සතුරන් කෙරෙන් වලකා තැන් තැන්වල

6) විග‍්‍රහ බැන්දෑ රුහුණු දනවු පෙරෙළා එකත් කොට ගල්වලින් බහා සිය රජහි පිහිටු –

තේරුම – යුද්ධ කොට රුහුණු ජනපදය නැවතත් එක්සත් කොට, වනයෙන් ඉවත් කොට ස්වකීය රාජ්‍යයෙහි පිහිටුවා

7) වා දුක් වුන් ප‍්‍රාශාදයට මෙකුන් දරුමුනුම්බුරන් ව මෙකුන්ගෙ අන්වය ආවු සෙද –

තේරුම – දුක් වින්ද ප‍්‍රශාදයට මොවුන්ගේ දරු මුණුපුරන් විසින් ද, මොවුන්ගේ පරම්පරාවට අයත් වූවන් විසින් ද,

(ආ 2)

1) ඩ මුඩු ගතැ යුතු දොෂයක් කළ ද බසින් පටවා කරණ දැහැවිල්ලෙන් මුත් දඩ මුඩු නොග –

තේරුම – දඩ මුඩ ගත යුතු වරදක් කරන ලද නමුත් වචනයෙන් වරද විනිශ්චය කොට කරන තර්ජනයෙන් මිස, දඩ මුඩ නොගැනීම ද (නොගත යුතුය යන අදහසයි)

2) න්නාච දැඟැලා නො පටවනු ව දිවි දී මිසැනොමුස්නා වරදකුදු ඇත තුන් වරක් දක්වා ෂමා කරනු කො –

තේරුම – සිරගෙයි දමා නොසංසිදුවීම ද, ජීවිත දානයෙන් (මරණීය දණ්ඩනය දීමෙන්) මිස නොමිදිය හැකි වරදක් ඇතිවුවද, තුන්වන වාරය දක්වා ක්ෂමා කිරීම ද,

3) ට ච පෙත් පමුණු නො ගන්නා කොට ව යම් පමණ දොහයකුදු කළ අභය දී දැකැ පියවන් මුත්.

තේරුම – ඉඩම් කොටස් හෝ පරවෙණී ගම් නොගැනීම ද, යම් පමණ රාජද්‍රෝහී කමක් කලත් අභය දානය කොට (රජු ම ඔහු වෙත ගොස්) බලා රටින් පිටුවහල් කරන මිස –

4) නිග‍්‍රහ නොකරන කොට මේ වැවස්ථා අප සිය කැතතුලෙහි ඔකාවස් රජ පරපුරු පු –

තේරුම – නිග‍්‍රහ නොකිරීම ද, යන මේ ව්‍යවස්ථා අප සිය ක්ෂති‍්‍රය වංශයෙහි – ඔකාවස් රාජපරම්පරාව

5) වත්නා තාක් සාසන කොට දෙන්නෙය් කිලිඟු නාවිනි තාරා දෙමුන් මෙගම්නාවිනි තුන් දා

තේරුම – පවත්නා තාක් (පැවැතිය යුතු යයි) ලියා තබා දිය යුතු යයි කිලිඟු නාවිනි තාරා දෙමුන් මෙගම් හි නාවිනි

6) දෙටුන් දක්වා වදාළෙගින් රුහුණු දඩනායක සිත්නරු බිම් බුදල්නාවන් වැඩි තැන් සඟවියෙ –

තේරුම – තුන්දොටුන්හට ප‍්‍රකාශ කළ හෙයින් රුහුණු දඩනායක සිත්නරු බිම් බුදල්නාවන් විසින් (වැඩි තැන්) රජතුමා ළදරු වියේහිදී

7) හි වඩමින් ලොවැඩ වඩා මුළු රජ කුල සැමැඟැ රක්මින් මුළු ලොය් දිවි රැකැ වන මුල් පලාභරණේ –

තේරුම – හදාවඩමින් ලොකාභිවෘද්ධිය කොට මුළු රජ පවුල සමඟ ආරක්ෂා කරමින් සකල ලොකයා ගේ ජීවිතය ආරක්ෂා කොට වන මුල පලයන් ගෙනවුත් දීමෙන්.

(ඉ)

1) න් පුස්මින් මුළු ලොය් පුසැ වැඩිතැන් සිය රැජහි පාළ කෙරෙමින් මුළු ලොය් සෙත් පාළ කොට දු –

තේරුම – පෝෂණය කරමින් මුළු ලොව ද පෝෂණය කොට රජතුමා ස්වරාජ්‍යයෙහි පහළ කරමින් (පිහිටුවමින්) මුළු ලොකයට සෙත පහළ කර

2) න් වුන් ප‍්‍රශාදයට ලක්දිව් තෙලෙහි මකාවස් රජපරපුරෙන් බව කැත කුලෙහි රජ පරපුරු

තේරුම – දුක් විඳි ප‍්‍රශාදරයට ලංකාද්වීපයෙහි මකාවස් රජ පරම්පරාවෙන් පහළ ක්‍ෂති‍්‍රය රාජ පරම්පරාව

3) පුවත්නා තාක් මෙකුන් දරුමුනුම්බුරන් ව මෙකුන්ගෙ අන්වය ආවු යේ දඩමුඩු ගතැ සිතු වර –

තේරුම – පවත්නා තාක් (මෙතැන් සිට ඉ-1 – 7 වන පෙළ දක්වා ඇති කොටස ආ 2 – 1 සිට 4 වැනි පෙළ දක්වා ඇති කොටසට සමානයි)

4) දෙකැ බසින් පටවා කරන දැහැවිල්ලෙන් මුත් දඬුමුඩු නො ගන්නා ව දැඟැලා නො පටනු ව

5) දිවි දී නොමුස්නා දොෂයකුදු කළ තුන් වරක් ෂමා කරනුව පෙත් පමුණු නොගන්නා කො –

6) ට යමු පමණ දොහයකුදු කළ අභය දී දැකැපියවත් මුත් නිග‍්‍රහ – නොකරනු කොට සත් විසි වන්නෙහි

5) කැත්තෙහි අවසතවස් දවස් පිටින් මත්තෙහි මෙවැ සථා කළ බවට දෙමළලෙය් දරු පොතැ අත්වර ලියන දෙව්මි.

තේරුම – කැති මස අව සතවක් දවසින් පසු මෙම ව්‍යවස්ථාව කළ ද්‍රවිඩ ලේඛකයාගේ පොතෙහි සහාය ව ලියන දෙව නමැති මම වෙමි.

Please follow and like us:
0

Add a Comment

Your email address will not be published. Required fields are marked *

Close

Enjoy this blog? Please spread the word :)

  • RSS
  • Follow by Email
  • Facebook
    Facebook
  • Google+
    http://ithihasa.org/2018/01/16/%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BD-%E0%B6%B4%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80">
  • Twitter
  • Instagram