ලංකාවට උපසම්පදාව ගෙනෙන්නට තෙවරක්ම මුහුදෙන් ගිය විල්බාගෙදර මුදියන්සේ

වැලිවිට අසරණ සරණ සංඝරාජ නාහිමියන්, සියම් දේශයෙන් පැමිණි උපාලි හිමියන් සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අප්‍රතිහත ධෛර්යය, කැපවීම නොතිබුණා නම් අද ශ්‍රී ලංකාව තුළ පිරිසිදු​ ථෙරවාදී බුද්ධාගමක් දක්නට නොලැබෙනු ඇත.උන්වහන්සේලාගේ කැපවීම මීට වසර 250කට ඉහත දී එසේ සිදු නොවුණා නම් අද වන විට අපේ දේශය වෙනත් ආගම්වලට ගොදුරුවූ බිමක් බවට පත්ව තිබෙනු ඇත.උතුම් වූ දන්තධාතුන් වහන්සේ පෙරටුකොටගත් නිර්මල බුදුදහම ශ්‍රී ලංකා ද්වීපය තුළ එ​ෙස් ස්ථාපිතවීමට වෙහෙසක් දැරූ උන්වහන්සේලා හා සමානවම මූලිකත්වය ගෙන කටයුතු කළ ප්‍රධානම චරිතයක් පිළිබඳව මෙතෙක් මෙරට බො​හෝ දෙනෙකු නොදැන සිටිනවා සේම අවධානය යොමු කර තිබෙනවාද විය හැකිය.

මොහු විල්බාගෙදර මුදියන්සේය. නැතිනම් විල්බාගෙදර මුහන්දිරම්රාලය. මෙරට සිට දුෂ්කර මුහුදු ගමනක යෙදෙමින් ලාංකේය දූත පිරිසේ නායකයා ලෙස තානාපති නිල මෙහෙවරක යෙදුණු පුද්ගලයා විල්බාගෙදර මුදියන්සේය.එනිසාම මේ ​ඓතිහාසික දූත මෙහෙවරේ ප්‍රධානම චරිතය ලෙස සැලකිය යුත්තේ මේ විල්බාගෙදර මුදියන්සේය. සැබැවින්ම මේ ශ්‍රේෂ්ඨ ශාසන කර්ත්‍ය​ෙයහිලා දිවි පරදුවට තබා තෙවරක් දුෂ්කර මුහුදු ගමනක යෙදී මෙරටට උපසම්පදාව ගෙන ඒමට අධිෂ්ඨානශිලීව ක්‍රියාකරන ලද්දේ විල්බාගෙදර මුදියන්සේය. ඔහුගේ ඒ අප්‍රතිහත ධෛර්ය නොවුණා නම් අද අපට බුදුදහමක් පිළිබඳව කතා කිරීමටද ඉඩ නොලැබෙනු නියතය.

විවිධ දේශ සංචාරකයින්ගේ වාර්තා මහ ඉහළින් අප රටේ කියැවුණද, අගය කළද විල්බාගෙදර මුදියන්සේ නම් වූ මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා අප ජාතිය විසින්ම මුළුමනින්ම පාහේ අමතක කර දමා තිබීම ජාතික අපරාධයකි.කෝට්ටේ රාජධානිය පෘතුගීසින්ට යටත්වීමෙන් පසුව මෙරට බුද්ධ ශාසනයට හිමිවූයේ අමිහිරි කාලපරිච්ඡේදයකි.
එකල රාජ්‍යත්වයට පත්වූ පළමුවැනි රාජසිංහ රජු බුද්ධාගම හැරපියා සිවආගම වැලඳ ගැනීමෙන් පසුව භික්ෂූන් වහන්සේ

ලාගේ ජීවිත සේම බෞද්ධ වෙහෙර විහාරද විනාශයට පත්කිරීම හේතුවෙන් බුදු සසුනට හිමිවූයේ අභාග්‍යසම්පන්න තත්ත්වයකි. කල්ගත වීමේදී එකදු උපසම්පන්න භික්ෂුවක් හෝ සසුනෙහි ඉතිරි නොවූහ. විහාර ආරක්ෂාකරන ලද්දේ ගණින්නාන්සේ නම් උපාසක පිරිසක් සහ සිල්වතුන් නමින් හැඳින්වුණු ගිහි උපාසක පිරිසකි. මෙයින් පසුව රාජ්‍යත්වයට පත්වූ පළමුවන සහ දෙවන විමලධර්මසූරිය රජවරුන් මෙරට උපසම්පදාව පිහිටුවීමට උත්සාහ කළද එය සාර්ථක නොවිනි.

මෙම අවාසනාවන්ත තත්ත්වය අවබෝධ කරගත් ඉන් අනතුරුව රාජ්‍යත්වයට පත් ශ්‍රී විජය රාජසිංහ (1739-1747) සහ කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1760) රජවරුන් ථෙරවාදී බුදුදහම පැවති වෙනත් දේශයකින් උපසම්පදාව සහිත භික්ෂූන් වහන්සේලා මෙරටට වැඩමවා බුදු සසුන පිහිටුවාලීමේ උදාර මෙහෙවරෙහි යෙදුණු මෙරට අවසාන රජවරු දෙදෙනා වූහ.

වසර සිය ගණනක් අරාජිතව පැවැති සිරිලක බුදුසසුන යළි පිහිටුවනු ලැබුවේ ක්‍රිස්තුවර්ෂ 1753 දී සියම් දේශයෙන් වැඩම කළ උපාලි මහ තෙරුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසිනි. මේ උතුම් ශාසනික මෙහෙවර සාර්ථක කර ගැනීම සඳහා එකල ලක්දිව වැඩසිටි මහා පඬිරුවනක් වූ වැලිවිට සරණංකර හිමියන් විසින් දරන ලද්දේ අනුපමේය මෙහෙවරකි.

එම කරුණු කෙසේ වුවද සිය ජීවිතය පවා පරදුවට තබමින් තෙවරක්ම රුදුරු මහා සමුදුර තරණය කොට සියම් දේශයට ගොස් උපසම්පදා භික්ෂූන් වහන්සේලා මෙරටට වැඩමවාගෙන පැමිණි දූත මෙහෙවරේ කණ්ඩායම් නායක වන විල්බාගෙදර රාල හෙවත් විල්බාගෙදර මුහන්දිරම් තුමා මුළු මහත් සිංහල බෞද්ධ වර්ගයාගේම ගෞරවාදරයට හා ප්‍රණාමයට පාත්‍රවිය යුතු වීර පුරුෂයෙකි.

ක්‍රිස්තු වර්ෂ 1750 වකවානුවේදී මහ සමුදුර තරණය කර විදේශයකට යායුතු ගමන ඉතාම අනතුරුදායක ගමනකි. එකල වර්තමානයේදී මෙන් නවීන මුහුදු යාත්‍රා භාවිත නොවූ අතර ඒ සඳහා යොදා ගන්නා ලද්දේ ලන්දේසි ​ෙවළෙඳ සමාගම්වලට අයත්වූ අබලන් රුවල් නැව්ය. බොහෝ විට මේ නැව් මුහුදේදී ස්වාභාවික විපත්වලට හෝ මුහුදු කොල්ලකරුවන්ට ගොදුරුවීමෙන් විනාශයට පත්විය. එවන් භයංකාර වාතාවරණයකදී වුවද එය නොතකමින් මෙරට බුදුසසුන පිහිටුවීමේ උදාර පවිත්‍ර චේතනාවෙන් විල්බාගෙදර මුහන්දිරම්තුමා ස්වකීය කැමැත්තෙන් මෙම දූත මෙහෙවරට ඉදිරිපත් විය.

අද පැය තුනක් වැනි කෙටි කාලයකදී ගුවන් මගින් ලංකාවේ සිට තායිලන්තයට යා හැකි වුවද එදා ලංකාවේ සිට සියමට නැතිනම් වර්තමානයේ තායිලන්තයට මුහුදෙන් යාම සඳහා මාස ගණනක් ගතවූ බව පැවසේ. එකල එය එතරම්ම දුෂ්කර වූ මුහුදු ගමනක් බව මෙයින්ම පැහැදිලි වේ. මෙම රාජකීය දූත මෙහෙවර සඳහා විල්බාගෙදර මුදියන්සේ යොදවන විට ඔහු කන්ද උඩරට තුම්පනේ ප්‍රදේශය බාරව සිටි නිලධාරියකු බව කියැවේ. එකල ලංකාවේ විසූ ප්‍රභූන් අතරින් රට නියෝජනය කිරීමට සුදුසු එකම රාජකීය නියෝජිතයා ලෙස කීර්ති ශ්‍රී රාජසිංහ රජු විල්බාගෙදර මුදියන්සේ තෝරාගෙන තිබුණේ ඔහු සතු ආගම් හා භාෂා පිළිබඳ ප්‍රවීණත්වය සහ ස්ථානෝචිත ප්‍රඥාව නිසා බව සඳහන් වේ.

ඔහු සිය බසද ඇතුළුව භාෂා 18ක් මනාව දත් භාෂා විශාරදයකු බවද පැවසේ. එම කාලවකවානුව අනුව භාෂා 18ක්ම උගෙන තිබීමෙන්ම ඔහු සතු පණ්ඩිතභාවය වචනවලින් විස්තර කළ නොහැකි තරම්ය. ඒ අනුව සියමෙන් උපසම්පදාව රැගෙන ඒමේදී විල්බාගෙදර රාල විසින් ඉටුකරන ලද දූත මෙහෙවර කෙනෙකුට සිතාගැනීමට පවා අසීරු කාර්යයකි. සියම් දේශයේ කරන ලද චාරිකා ඇසුරෙන් මා ලියන ලද ‘සුන්දර සියම් දේශයේ දින තිහක්’ ග්‍රන්ථය සඳහා මා සම්පාදනය කරන ලද පළමු ලිපිය වූයේ විල්බාගෙදර මුහන්දිරම් ඇතුළු පිරිස මෙරටට සියමේ සිට උපසම්පදාව රැගෙන ඒමේ කතා පුවතයි. එසේම එම ග්‍රන්ථයේ කවරයේ අවසාන කොටසේද මේ යුගපුරුෂයා පිළිබඳව මම සටහනක් තැබීමි.

මෙම ග්‍රන්ථය දොරට වැඩිමේ උත්සවයට විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී වී සිටි වයඹ පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වත්මන් පළාත් සභා මන්ත්‍රී ඩී.බී. හේරත් මහතා එම සටහන කියවා බලා මා හට අපූරු තොරතුරක් ලබා දුන්නේය.

ඒ විල්බාගෙදර මුහන්දිරම්ගේ සමීපතම ඥාති පරම්පරාව පඬුවස්නුවර ප්‍රදේශයේ වෙසෙන බවය. එම තොරතුරු ලබාදුන්නා පමණක් නොව විල්බාගෙදර මුහන්දිරම්ගේ ඥාතීන් හමුවීම සඳහා ඩී.බී. ​ෙහ්රත් මහතාම එම ප්‍රදේශය කරා කැඳවාගෙන ද ගියේය.

බණ්ඩාරකොස්වත්තේ විල්බාගෙදර පිහිටි ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරයේදී විල්බාගෙදර මුහන්දිරම්ගේ පරම්පරාවේ පස්වන සහ හයවන පරම්පරාවල සමීපතම ඥාතීන් මට හමුවිය.

විල්බාගෙදර ගම්මානය විල්බාගෙදර මුහන්දිරම්ගේ උපන් ගම විය. එසේම ඔහු මූලික අධ්‍යාපනය ලද විහාරස්ථානය වූයේද මේ ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරයයි. විල්බාගෙදර ගමේ නාමය බිහිවූ ආකාරය පිළිබඳව ද තිබෙන්නේ අපූරු කතා පුවතකි. ඉන්දියාවේ වඩිග දේශය සහ යාබදව පිහිටි තෙළිගු දේශය අතර යුද්ධයක් හටගත්තේය. යුද්ධයෙන් පරාජයට පත්වූ වඩිග දේශයේ රජු තෙළිඟු රජු අතින් මරණයට පත්විය. එම මරණයෙන් පසුව ඇතිවූ තෙළිඟු ආක්‍රමණයට මුහුණ දී ගත නොහැකිව වඩිග රජුගේ එකම පුත්‍රයාවූ ‘විල්ගේ රාංගීත’ නම් කුමාරයා තම පවුලේ සාමාජිකයන්ද සමඟ ජීවිතාරක්ෂාව පතා ලංකාවට පැන ආ බව සඳහන් වේ.

මේ කාලය වනවිට ලංකාවේ ප්‍රධාන රාජධානිය කෝට්ටේ වූ අතර හත්වන බුවනෙකබාහු රජතුමා (ක්‍රි.ව. 1534-1551) කෝට්ටේ රජ කළේය. ලංකාවට පලාවිත් අප්‍රසිද්ධියේ වෙසෙමින් සිටි විල්ගේ රාංගීත කුමරු බුවනෙකබාහු රජුගේ සිත් දිනා ගැනීම සඳහා ඔහු තුළවූ දක්ෂතාවන් මනාව ප්‍රයෝජනයට ගනිමින් රත්තරනින් පුවක් මලක් සහ බළල් රුවක් අපුරුවට නිර්මාණය කළේය.

මේ අගනා වටිනා ත්‍යාගය බුවනෙකබාහු රජුට තිළිණ කොට ඔහුගේ සිත් දිනාගත් විල්ගේ රාංගීත කුමාරයා තමා පිළිබඳ සියලු තොරතුරු සැලකොට තමන්ට මෙරට වාසය කිරීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටියේය.කුමාරයාගේ දක්ෂතාව හඳුනාගත් රජු ඔහුගේ ඉල්ලීමට එකග වී විල්ගේ රාංගීත යන නාමයට හෙළ ප්‍රාණයක් ලබා දෙනු පිණීස ‘විල්ගේගෙදර’ නැතිනම් ‘විල්බාගෙදර’ ලෙස නම් කළේය.

එවකට පඬුවස්නුවර රාජධානිය ප්‍රදේශයේ කොටසක් පාලනය කරමින් සිටි ‘පාලාවිටි වැද්දා’ නමැති පුද්ගලයා රජවාසලට කැඳවා කුමාරයාගේ වාසය සඳහා සුදුසු ප්‍රදේශයක් සීමාකර දෙන ලෙස රජු නියෝග කළේය. එසේ සීමාකරගත් ප්‍රදේශයක පැල්පතක් සාදා කුමාරයා පදිංචි වූ අතර, එතැන් පටන් එම නිවෙසද, සීමාකරගත් ප්‍රදේශයද ‘විල්බාගෙදර’ නමින් ප්‍රසිද්ධ විය. වර්තමාන විල්බාගෙදර ප්‍රදේශය එදා මෙසේ බිහිවිය.

දැදුරු ඔයට ආසන්නව කුරුණෑගල හලාවත මාර්ගයේ 18 වන සැතපුම් කණුව ආසන්නයේ විල්බාගෙදර ගම පිහිටා ඇත.

රජුගෙන් ගම්වරය ලබා විල්බාගෙදර පදිංචි වූ විල්ගේ රාංගීත කුමාරයා පසුව ‘විල්ගම් බණ්ඩාර’ නාමයෙන් පෙනී සිටි අතර, ඔහුගේ සහකාරිය ලෙස ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි කුලවත් සිංහල තරුණියක විවාහකරගත්තේය. එම විවාහයෙන් උපන් එකම පිරිමි දරුවාගෙන් ඇරුඹි විල්බාගෙදර පරම්පරාවේ 12 පරම්පරාවේ දරුවකු ලෙස විල්බාගෙදර මුහන්දිරම්ගේ උත්පත්තිය සිදුව ඇත.

විල්බාගෙදර මුහන්දිරම්ගේ උත්පත්ති නාමය ‘නයිදහාමිය’ පියා කොළමුන්නේ රාල වූ අතර මව මැණික්හාමිය. නයිදහාමි කුඩා කාලයේදීම විල්බාගෙදර විහාරස්ථානයේ නායක හිමියන් වෙතින් භාෂා ශාස්ත්‍රය හා බුද්ධධර්මය මැනැවින් උගත්තේය. අධ්‍යාපනයට මනා හැකියාවක් පෙන්වීම නිසා සතුටට පත් මාපියෝ විහාරාධිපති හිමියන්ගේද උපදෙස් අනුව නයිදහාමි වැඩිදුර අධ්‍යාපනය සඳහා පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයට අයත් පණ්ඩුකාභය මහා පිරිවෙනට භාර දුන්හ.

එහිදි සිංහල, පාලි, සංස්කෘත, දෙමළ, ලන්දේසි ආදී භාෂා රැසක්ම මනාව ප්‍රගුණ කළ නයිදහාමි භාෂා පණ්ඩිත සම්මානයෙන්ද පුද ලබා සිය මුත්තණුවන් වූ රත්නායක මුදියන්සේ දැරූ විල්බාගෙදර මුහන්දිරම් ධූරයෙන්ද පිදුම් ලැබීය. නයිදහාමි වූ ඔහු එතැන් පටන් ‘විල්බාගෙදර මුහන්දිරම් නැති නම් මුදියන්සේ’ නමින් ප්‍රසිද්ධ විය.මුහන්දිරම් නනතුර ලැබුවද ඉගෙනීමට ආශාවෙන් පෙළුණු ඔහු තව තවත් ඉහළට අධ්‍යාපනය හදාරා තම පණ්ඩිතභාවය මෙන්ම තවත් භාෂාවන් රැසක්ද මනාව ඉගෙන ගත්තේය. මේ අනුව ඔහු විවිධ භාෂා 18ක් ලිවීමටත්, කතා කිරීමටත්, තරම් දක්ෂයකු විය.මේ දක්ෂතාවේ අවසාන ප්‍රතිඵලය වූයේ ඔහු මෙරටට උපසම්පදාව නැවත රැගෙන ඒමේ රාජ්‍ය දූත මෙහෙවරේ ප්‍රධානියා ලෙස පත් කිරීමය.

විල්බා ගෙදර මුහන්දිරම්ගේ පවුලේ වත්මන් පරම්පරාවේ ප්‍රධානියා රත්නායක මුදියන්සේලාගේ කරුණාසේන මහතාය (70) රත්නායක මුදියන්සේලාගේ නිලමේලාගේ රත්නායක (58) ඒකනායක මුදියන්සේලාගේ ගාමිණී ඒකනායක, රත්නායක මුදියන්සේලාගේ ජිනදාස රත්නායක, රත්නායක මුදියන්සේලාගේ සීලවතී, රත්නායක මුදියන්සේලාගේ නිලමේලාගේ කමලාවතී, පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක සහ වයඹ ප්‍රධාන අමාත්‍යවරයාගේ පෞද්ගලික සහකාර පොඩිනිලමේ මොහොට්ටාල මහත්ම මහත්මීහු පස් වන පරම්පරාවේ සාමාජික​ෙයා් වෙති. රත්නායක මුදියන්සේලාගේ අනිල් සෙනරත් බණ්ඩාර හය වන පරම්පරාවේ සාමාජිකයෙකි.

කරුණාසේන මහතා තම පරම්පරාවට ඉමහත් ගෞරවයක් ගෙන දුන් මීමුත්තා පිළිබඳව ඔහු දත් තොරතුරු මෙසේ විස්තර කළේය. ‘මීමුත්තා ඉටුකරපු උදාර ශාසනික මෙහෙවර පිළිබඳව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා බොහෝම පැහැදීමට පත්වෙලා ඒ මෙහෙවර අගය කිරීමට රටෙන් භාගයක් ලබාදීමට ඉදිරිපත් වුණත් මීමුත්තා කාරුණිකව එය ප්‍රතික්ෂේප කරලා තිබෙනවා’

‘මේ නිසා පසුව රජතුමා මීමුත්තාට ඇළවටුව, ගලගෙදර, හැවැන්මඩවෙල, වෑඋඩ, වැල්කුඹුර, හැටගඟතැන්න, ගම්හත කඹුරුගමුව කියන විශාල ප්‍රදේශයක් තඹ සන්නසකින් ලියාදීලා, රන්මුදු මාල සමඟ බලසම්පන්න හස්ති රාජයෙක්ද පරිත්‍යාග කරපු බව සඳහන් වෙනවා’

‘රාජසිංහ රජතුමා එයින් නොනැවතී මීමුත්තාට විල්බාගෙදර ශ්‍රී රාම රත්නායක හේරත් මුදියන්සේ’ කියන ගෞරව නාමයද දීලා ඊට අමතරව තුම්පනේ රටේ රාල පදවියද බාරදීලා තිබෙනවා. පසුව රජතුමාගෙන් ලැබුණු තාන්න මාන්න සහිතව විල්බා​ෙගදර වලව්වක් තනාගෙන මීමුත්තා මියයනතුරුම ඒ ගමේ ජීවත් වෙලා තියෙනවා. රජතුමාගෙන් තෑගි ලැබුණු ඇතාද විල්බාගෙදරම තබාගෙන තිබෙනවා’

‘මීමුත්තා වාසය කරපු වලව්ව අද නැහැ. අද එම ස්ථානයේ අපේ පරම්පරාවේ අය නිවාස සාදාගෙන ජීවත්වෙනවා. මීමුත්තාගේ ඇතා ගැට ගහපු ගල් කණුව අදටත් අ​පේ ඉඩමක සුරක්ෂිතව තිබෙනවා. එ්කත් වටිනා කෞතුක වස්තුවක් අපේ පරම්පරාවට. මීට කාලයකට පෙර මේ ගල තිබෙන ස්ථානයේ නිධානයක් තියෙනවා කියලා සිතලා කිසියම් පුද්ගලයෙක් මේ ගල පෙරළා දමා තිබුණා. නමුත් එතැන නිධානයක් තිබිලා නැහැ. හැබැයි පෙරළා දාපු ගල් කණුව නැවත සිටුවනකල්ම රාත්‍රියේදී ඒ පුද්ගලයාට නිදාගන්න ලැබිලා නැහැ. නිදාගන්න ගියාම රෑට කකුලෙන් ඇදලා කවුදෝ කරදර කරනවාලු’

කෙසේ වුවද අද වනවිට එම ගල් කණුව නැවත පෙරළී තිබෙන ආකාරය දැකගත හැකි විය.

පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ විල්බා ​ෙගදර මුදියන්සේ සතුව තිබූ කෞතුක වස්තුවලින් කීපයක් ඇතැම් ඥාතීන් සතුව අදටද පවතී, සන්නසක්, ලී මංජුසාවක්, වස්ත්‍රාභරණ කීපයක් ඒ අතර වේ. කරුණාසේන මහතා සතුව තිබෙන සන්නසෙහි රජු විසින් විල්බාගෙදර මුදියන්සේට පිරිනැමූ ගම්වරයක් පිළිබඳ විස්තර සඳහන් වේ.

මේ උදාර පුරුෂයා විසින් ඉටුකරන ලද සුවිශේෂී කාර්යභාරය එම යුගයෙන් පසුව වර්තමානය දක්වා කිසිදු ඇගැයීමකට ලක්ව නැති බව විල්බාගෙදර ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරාධිපති කෙසෙල් වතුගොඩ සුමංගල හිමියෝ පැවසූහ.
සියමෙන් උපසම්පදාව රැගෙන ඒම සම්බන්ධයෙන් විල්බාගෙදර මුහන්දිරම්තුමා ඉටුකරන ලද මෙහෙවර කෙනෙකුට සිතා ගැනීමට පවා අසීරු කාර්යයක්. එම චාරිකාව පිළිබඳව එතුමන් විසින්ම රචනා කරන ලද ශ්‍යාම වර්ණනාව සහ විල්බාගෙදර ගමන් විස්තරය’ යන පොත්වල සඳහන් වෙනවා. මේ මුල් පොතට සමාන පුස්කොළ ​ෙපාතක් ජාතික කෞතුකාගාර පුස්තකාලයේ තිබෙනවා’

‘ලංකාවේ විනාශ වෙලා ගිය බුදු සසුන පිහිටුවීමට එතුමන් දිවි පරදුවට තබා ගත් මේ උත්සාහය නොතිබෙන්නට වැලිවිට සරණංකර නාහිමියන්ට සංඝරාජ පදවිය තබා උපසම්පදාව වත් ලබාගැනීමට නොහැකි වෙනවා’ මහාවංශයේ කතුවරයකුව සිටි මල්වතු මහාවිහාරයේ මහානායක ව සිටි තිබ්බොටුවාවේ බුද්ධරක්ඛිත හිමිපාණන් විසින් එතුමන් ජාතික වීරයකු විදිහට මහා වංශයේ සඳහන් කරනු ලැබ තිබෙනවා. උපසම්පදාව අපේ රටේ යළි පිහිටුවීම සිහිපත් කිරීමේ සංවත්සර උත්සව ගණනාවක් අපේ රටේ පැවැත්වුවත් මේ කිසිම තැනකදී විල්බාගෙදර මුහන්දිරම් කියන නාමය නාම මාත්‍රයකින්වත් සඳහන් නොකිරීම කනගාටුවට කරුණක්’

‘එතුමා ජීවත්වුණු මේ ගම වගේම මේ විහාරස්ථානයත් අපේ රටට වැදගත් ​ඓතිහාසික ස්ථාන ලෙස අපි සලකනවා මේ ස්ථාන වගේම දැනට ඉතිරිව පවතින මුහන්දිරම්තුමා භාවිත කරපු කෞතුක භාණ්ඩ සුරක්ෂිත කිරීම රජය විසින් සිදු කෙරිය යුතු ජාතික මෙහෙවරක් වෙනවා. ඒ සඳහා මේ විහාරස්ථානය සංරක්ෂණය කර දෙන ලෙසත්, එතුමා උපන් ගම මැදින් දිවෙන හුනුගම, කනෝගම මාර්ගය ‘විල්බාගෙදර මුදියන්සේ මාවත’ කියලා නම් කරන ලෙසත් අපි රජයෙන් ඉල්ලන්නේ 2002 වසරේ ඉඳලයි. නමුත් එම ඉල්ලීම් අද වනතුරු ඉටු නොවීම පිළිබඳවත් අප දැඩි ලෙස කනගාටු වෙනවා.’ යැයිද සුමංගල හිමියෝ පෙන්වාදුන්හ.

යළි උපසම්පදාව ගෙන ඒමේ සුවිශේෂී මෙහෙවරට ගෞරව කිරීම සඳහා විල්බාගෙදර මුහන්දිරම්ගේ පරම්පරාවේ සාමාජිකයන්ට මහනුවර ගිය අවස්ථාවල නවාතැන් ගැනීම සඳහා මල්වතු මහා විහාරයේ විශේෂ කාමරයක් පවා වෙන්කරදී තිබෙන බව පැවසේ.

රටට විශිෂ්ට සේවාවක් ඉටු නොකළ දේශපාලනඥයන්ගේ පිළිරූ පවා මඟ දිගට ඉදිකෙරෙද්දී මෙරට බුදු සසුන රැක ගැනීමට අනුපමේය සේවයක් ඉටුකළ මේ වීර පුරුෂයාගේ පිළිරුවක් මෙතෙක් කිසිදු ස්ථානයක ඉදි කිරීමට පසුකාලීනව මෙරට විසූ පාලකයන් කෘතවේදී නොවීම ජාතික අපරාධයක් සේ සැලකිය හැකිය.

විල්බාගෙදර රාල හෙවත් විල්බාගෙදර මුහන්දිරම්තුමාගේ ශ්‍රී නාමයට සිංහල බෞද්ධ ජනතාව හැටියට අපි සියලු දෙනාම සදා ණයගැත්තෝ වෙමු.

 

සටහන සහ සේයාරූ
පුෂ්පකුමාර ජයරත්න

 

උපුටා ගැනීමකි.අයිතිය කර්තෘ සතුය

Please follow and like us:
0

Add a Comment

Your email address will not be published. Required fields are marked *

Close

Enjoy this blog? Please spread the word :)

  • RSS
  • Follow by Email
  • Facebook
    Facebook
  • Google+
    http://ithihasa.org/2018/01/14/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7-%E0%B6%8B%E0%B6%B4%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AF%E0%B7%8F%E0%B7%80-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1">
  • Twitter
  • Instagram