යාන්ඔය පහළ නිම්නයේ පුරාවිද්‍යා උරුමය…

ශ්‍රී ලංකාවේ ජල මාර්ග පද්ධතියේ ප්‍රධාන ජල මාර්ගයක්‌ වන යාන්ඔයට අනුරාධපුරය සහ තිරිකුණාමලය දිස්‌ත්‍රික්‌ක දෙක ආශ්‍රිත පුළුල් කලාපයක්‌ පෝෂක කලාපය වන්නේය. මෙම ඔය නැගෙනහිර වෙරළබඩ කලාපයේ තිරිකුණාමලයට උතුරින් වූ පුල්මුඩේ ප්‍රදේශයෙන් මුහුදට සම්බන්ධ වෙයි. අනුරපුර රාජධානිය ප්‍රධාන පාලන එAකකයක්‌ බවට පත්වීමට ප්‍රථම ග්‍රාම සංස්‌කෘති රැසක්‌ පැවැති බවට සාධක ඇති යාන්ඔය නිම්නය තුළ සංස්‌කෘතික දේපළ එමට තිබෙයි. රජරට කොළොන්හොය සහ කලාඔයද ඒ ආකාරයේ සාධක පෙන්වන තවත් ජල මූලාශ්‍ර දෙකකි. විශේෂයෙන්ම යාන්ඔය ඉහළ හා මධ්‍යම නිම්න ආශ්‍රිතව පුරාවිද්‍යාත්මක අගයක්‌ ඇති සංස්‌කෘතික සාධක රැසක්‌ මෑතක දී හඳුනාගෙන තිබෙයි. මේවායෙහි පැරණිතම සාධක වන්නේ ගල් සොහොන් සංස්‌කෘතියට අයත් මෙගලිතික ස්‌මාරක සහිත සුසානයන්ය. මෙයින් එක සුසානයක්‌ ක්‍රිස්‌තු පූර්ව අටසියයට අයත් වන බව රජරට විශ්වවිද්‍යාලයීය පුරාවිද්‍යා අධ්‍යයන අංශය වාර්තා කළේය. එයට අමතරව පැරණි සාධක අතරට ගැනෙන පූර්ව බ්‍රහ්මි හා අපර බ්‍රහ්මි මෙන්ම පශ්චාත් කාලීන බ්‍රහ්මි අක්‍ෂරයෙන් ලිත සෙල්ලිපි රැසක්‌ද දැනටමත් මෙම කලාපයෙන් වාර්තා වී තිබෙයි. මෙම ලිපියෙන් එළිදක්‌වනු ලබනුයේ නව හඳුනා ගැනීමකි.

යාන්ඔය ආශ්‍රිතව සංවර්ධන ව්‍යාපෘති කීපයක්‌ වර්තමානයේ ක්‍රියාත්මක බව අසන්නට ලැබෙයි. එයින් ප්‍රධානතම ව්‍යාපෘතිය වන්නේ යාන්ඔය ජල යෝජනා ක්‍රමයයි. දෙවැනි ව්‍යාපෘතිය වන්නේ එම යෝජනා ක්‍රමය යටතේ දැනට පදිංචි ජනාවාස අහිමි වන අය සඳහා පදිංචියට යෝග්‍ය ස්‌ථාන හඳුනාගෙන වෙන් කිරීමයි. තවත් ව්‍යාපෘතියක්‌ වශයෙන් සැලකිය හැකි වනුයේ එම ප්‍රදේශයේ බිම් මැනීමේ කටයුතුය. ඉඩම් මැනීම සිදුවන අවස්‌ථාවේ දී හෝ ඒ සඳහා ගවේෂණයේ යෙදෙන විට හෝ විවිධ පෞරාණික දේ හමුවෙමින් පවතියි. ලංකාවේ පුරාවිද්‍යා ඉතිහාසයට අනුව බලන කල ඇතැම් පුරාවිද්‍යා තොරතුරු ඇතැම් වාර්තා කරනු ලැබ ඇත්තේ වාරි කර්මාන්ත හා සම්බන්ධ ශිල්පීන් සහ මිනුම්දෝරු නිලධාරීන් විසින් බව ප්‍රසිද්ධ කරුණකි.

ඉහත මාතෘකාවට අයත් සෙල්ලිපිය සහ තවත් පුරාවස්‌තු තිබෙන ස්‌ථානයක්‌ මෑතක දී හඳුනාගෙන ඇත්තේ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පිරිසකි. ඒ අයගෙන් ප්‍රධාන මැනුම් සහායකවරයකු වන ඩබ්ලිව්. අනුර ජයරත්න මහතා 2017 ජනවාරි මස 23 හෝ ඒ ආසන්න දිනයක මෙය වාර්තා කරයි. ජයරත්න මහතා කැලය මැද ගල්තලාවක තිබෙන මෙම සෙල්ලිපිය සහ තවත් සෙල් ලිපියකුත් විනාශව පැවති පැරැණි ස්‌ථානයක තොරතුරුත් දැක තිබෙයි. එය ඔහුගේ ජංගම දුරකථනයෙන් ඡායාරූප ගැනීමෙන් පසුව මේ බව ඔහුගේ මිනින්දෝරු ශිල්පී චතුරංග වන්නිනායක මහතාට දැන්වීමට කටයුතු කර තිබෙයි. පුරාවිද්‍යාවට අයත් නිලධාරීන් විසින් මේ ගැන සොයා බලා කරුණු දැනගෙන ඇත්ද යන්න අප නොදනිමු. චතුරංග වන්නිනායක මහතා විසින් මෙයට අදාළ ඡායාරූප දෙකක්‌ 2017.02.17 දින මා වෙත සපයන ලදී. වෘත්තීමය වශයෙන් පුරාවිද්‍යා කටයුතුවල දැනට නිරත නැතත් පුරාවස්‌තු සහ සෙල්ලිපි ගැන ඇති කැමැත්ත නිසා මෙය කියවා තේරුම් කර පළකරන්නට උත්සාහ කළෙමි. ලංකාවේ ඇති සෙල්ලිපි ප්‍රධාන වශයෙන් කාණ්‌ඩ කීපයකි. ඒවා මෙසේ ය. ලෙන් ලිපි, පර්වත ලිපි, ටැම්ලිපි, පුවරු ලිපි සහ වෙනත් යනුවෙනි. මේ සියල්ල අභිලේඛන යටතට ගැනෙයි. ලක්‌දිව සෙල්ලිපි දහස්‌ ගණනක්‌ මේ වන විට පිටපත්කර කියවා පළකොට තිබෙයි. තව තවද ලිපි හමුවීම සහ ගවේෂණයද සිදු වෙයි. පළකරන්නට ඇති ලිපිද තිබෙනවා විය හැකිය. ඡායාරූපයේ දැක්‌වෙන සෙල් ලිපිය සහිත පුරාවිද්‍යා ස්‌ථානය පිහිටා ඇත්තේ රක්‍ෂිත වනගත ප්‍රදෙAශයකය. මෙම ස්‌ථානය අප දැනගත් ආකාරයට මෙසේය. කැබිතිගොල්ලෑව පදවිය පාර බෝගහ හන්දියෙන් හැරී පුල්මුඩේ මාර්ගයේ සැතපුම් 07 ක්‌ ගොස්‌ දකුණට හැරී කි.මි 2 1/2 ක්‌ පමණ ගිsය තැනින් නැවතත් කි.මී. 01 ක්‌ පමණ වනය තුළට ගමන් කිරීමෙන් මෙම ස්‌ථානය හමුවන බව ජයරත්න මහතා දුරකථනයෙන් මා සමඟ පැවසීය. වැඩි විස්‌තර දැන ගැනීමට එම අය නැවත සම්බන්ධ කර ගැනීමට පුළුවනි. මේ ප්‍රදේශයේ ඕමාරකඩවැව නමිනුත්, වෙහෙරවැව නමිනුත් පැරැණි වැව් දෙකක්‌ ඇති බව ප්‍රදේශවාසීන් පවසන බවද ඒ මහතා කීවේය. ජයරත්න මහතා සහ චතුරංග වන්නිනායක මහතා පවසන ආකාරයට මෙහි පුරාණ දේ නටබුන්ව තිබෙයි. යම් යම් දේ හාරා හානි පමුණුවා ඇතැයිද කියෑවෙයි. විශේෂයෙන්ම පුරාවස්‌තු පැහැරගන්නා අය විසින් ඒවා විනාශ කරනු ලැබ ඇතැයි අපට සිතාගත හැකි ය. වසර ගණනාවක පසුගිය ගැටුම් සමයේ මේවා මිනිස්‌ අවධානයෙන් තොර වන්නට ඇත.

මෙහි දක්‌වනු ලබන සෙල් ලිපිය පර්වත ලිපි වර්ගයට අයත් එකකි. ස්‌ථිර ලෙසම කාලයක්‌ පැවසිය නොහැකි වුවද ආසන්න ලෙස මෙය වසර එක්‌දාස්‌ පන්සියයක්‌ පමණ විය හැකිය. ඒ සඳහා අප විසින් පාදක කරගනු ලබනුයේ මෙහි ඇති අක්‍ෂරවල හැඩය සහ ඇතැම් වචනවල භාෂා විලාශයයි. මෙම ලිපිය ක්‍රිස්‌තු වර්ෂ පස්‌වැනි සියවසට ආසන්න විය හැකිය යන්න අපගේ අදහසය. අභිලේඛන විශේෂඥයන්ගේ අවධානයට යොමුවිය යුතු මෙම ලිපිය කෙරෙහි පුරාවිද්‍යාවට අදාළ බලධාරීන්ද අවධානය යොමු කිරීම මැනවි. මෙහි ඇති අක්‍ෂර රටාව පශ්චාත්කාලීන බ්‍රාහ්මි සම්ප්‍රදායට අයත් වෙයි. ලිපියේ ඇතැම් කොටස්‌ කියවා ගැනීම අපහසුය. ඡායාරූපයක්‌ මගින් පමණක්‌ සෙල් ලිපියක්‌ කියවා ගැනීම අසීරුය. එය එසේ කරන්නේ නම් ශාස්‌ත්‍රීයද නොවන්නේය. අප වෙත ඡායාරූප සැපයූ අයගෙන් සම්පූර්ණ ලිපිය ඡායාරූපයට නැගුනේද යන්නද නොදනිමි. එබැවින් කළ යුත්තේ අදාළ බලධාරීන් මෙම ලිපිය හා මෙහි ඇති සෙසු පුරාවස්‌තු වාර්තා කර අදහස්‌ සැපයීමයි. එය අපගේ ඉතිහාසයට මහත් වැදගත්කමක්‌ වන්නේය. අපට හැඟීගිය ආකාරයට මෙම ලිපියෙන් “සිධ – දනලලක වහිජ මව නෙකුපදික වවි …… විහ(රහි) බිකු ……..” යන්න කියවෙයි ද? සෙල්ලිපියේ ස්‌පර්ශ මුද්‍රd ගෙන කියවීම නිවැරැදි ක්‍රමය හෙයින් අපගේ කියවීමේ අඩුපාඩු තිබිය හැකිය. නිවැරදි කිරීම අදාළ විෂය ප්‍රවීනයන්ට අයත් කාර්යයක්‌ වන්නේය. වැවක්‌, විහාරයක්‌ හා භික්‍ෂුන් වහන්සේගේ සම්බන්ධයක්‌ මෙම ලිපියේ තිබෙන බව පැහැදිලිය. නටබුන් වූ වැව් මේ කලාපයේ ඇති බවද අසන්නට ලැබෙයි. ලිපිය ආරම්භයේ ඇති සිධ යන්නෙන් පෙන්වන්නේ මංගල හෝ ආශීර්වාද පදයකි. මෙබඳු ආශිර්වාද පද ඇති සෙල්ලිපි රැසක්‌ ලංකාවේ තිබෙයි. ඇතැම් ඒවා මෙයට වඩා පැරණිය. ඇතැම් ඒවා පැරණි බවින් අඩුය. සෙල්ලිපිවලට අමතරව රන්පත්වල හා පුස්‌කොළ පිටපත්වලද මේ ආකාර ආශිර්වාද පද තිබෙයි. “සිධ” යන ආශිර්වාද පදය ඇති තවත් එක්‌ ලිපියක්‌ මෙසේය. එය ද නැගෙනහිර පළාත නියෝජනය කරයි. රාත්‍රවේල පර්වත ලිපියේ “සිධ දෙවනිපිය ගමණි මහරජ” යන්න දක්‌නට ඇත (E. ‘ vii 79). ‘සිධ’ යන්න සඳහන් බ්‍රහ්මි අක්‍ෂරයෙන් යුත් තවත් පැරණි අභිලේඛනයක්‌ වන්නේ වල්ලිපුරම් රන්පතයි එය ක්‍රිස්‌තු වර්ෂ දෙවැනි සියවසට අයත් වසභ රජුගේ කාලය නියෝජනය කරයි. එහිදී “සිධ මහරජ වහයහ” යනුවෙන් පෙනේ (E. Z iv). ‘ සිධ ‘ යන ආශිර්වාද පදය ස`දහා මහාචාර්ය විනී විතාරණ සූරීහු මෙසේ ස`දහන් කරති. “සිධ හා සංස්‌කෘත ආශිර්වාදාත්මක අව්‍යක්‌ (නිපාතයක්‌) වන ‘ සි`ඩම් යන්න ඉහත සඳහන් සීමා යටතේ බ්‍රාහ්මි අක්‍ෂරයෙන් ලියූ සැටියි. තවත් කරුණක්‌ නම් , මේ වචනය හැකි තරම් කෙටිකොට ලිවීමේ සිරිතක්‌ ද ඒ ලේඛකයන් අතරේ පැවතුණු බව ය. ඇතැම් අවස්‌ථාවල ඔවුන් ලියූවේ ‘ සී ‘ යන්න පමණි ( විනී විතාරණ 1992.18 ). ‘ සිධ ‘ යන්න පිළිබ`දව පූජ්‍ය පණ්‌ඩිත අමරවංශ හිමියෝ මෙසේ ගෙනහැර දක්‌වති. ” ක්‍රි. ව. දෙවන ශතකයේ දී පමණ සිද්ධම්, සිධම්, සිධ, සි යන වචන නොයෙක්‌ අයුරින් ආශිර්වාදයකින් ලිපි ඇරැඹීමට පටන් ගැනීමයි. ආන්ධ්‍ර දේශීය බලපෑම මෙසේ හේතු වී යයි සිතති. මේ ක්‍රමය වෙනස්‌ වූයේ ක්‍රි.ව. 7 වන ශතකයේ ” ‘ ස්‌වස්‌ති ‘ යන්න යොදන්නට පටන්ගැන්වෙන්නේ ය ( අමරවංශ හිමි ( 1959 ( 28 ).

නැගෙනහිර පළාතේම තවත් ලිපි කීපයක ආශිර්වාද පදය සිදධම් ලෙසින් වාර්තා වෙයි . නෙලූම්පත් පොකුණ පර්වත ලිපිය ( E .Z vii : 96 ). කාරිවොට්‌ටෙයි පර්වත ලිපිය (E. Z.vii : 93 ). ඌව පළාතේ ප_වතලිපියක්‌ වන පිලීගම ලිපියෙහි ‘ සිදධම් උවරද මහගවිඩගම ‘ යන්න ස`දහන් ය. එහිම තවත් ලිපියක ‘ සිදධම්ග …………’ යන්න ලියා තිබෙයි ( E.Z. vii : 108). තිස්‌සමහාරාම විහාර ලිපියේ ” සිදධම් බුදදස මහිද මහසෙන……..” යන්න ස`දහන් ය. සෙල්ලිපි කීපයකම ඇති සිධ , සිදධම් යන්න කාලයාගේ ඇවෑමෙන් පුස්‌කොළ පොත්වල ආරම්භක ආශිර්වාද පදය වශයෙන් යෙදුනු අවස්‌ථා බොහෝ ය. පුස්‌කොළ ලේඛනවලට කවර් එම ආශිර්වාද පදය පැමිණියේ ද යන්න නිශ්චිත නොවේ. එහෙත් මහනුවර යුගයේ හා ඉන් පසුව ලියෑවී ඇති පුස්‌කොළ පිටපත් ඇතැම් එAවායේ ” ස්‌වස්‌ති සිදධම් ” යන්න විවිධ රටා අනුව ලියා තිබෙයි ( තිස්‌ස බණ්‌ඩාර ( 2007 ( 550 ). ප්‍රස්‌තතු= සෙල්ලිපියේ ඇති ආරම්භක ආශිර්වාද පදය පිළිබ`දව ඒ ආකාර නිදසුන් කීපයක්‌ පෙන්වීමට උනන්දු වුයේ මෙම ලිපියේ ඇති ඓතිහාසික වැදගත්කම පෙන්වීම සඳහා ය. එහි ඇති වවි යන්නෙන් වැවක්‌ ගැන කියෑවෙයි. වැව් විහාරස්‌ථානවල භික්‍ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා පූජා කළ බවට ඉතිහාසයේ බොහෝ සාධක තිබෙයි. මෙයද ඒ අතරට අලුතින් එක්‌වන කරුණක්‌ විය හැකිය. එමෙන්ම ඡායා මට්‌ටමින් මෙහි හඳුනාගත හැකි “විහ” යන අක්‍ෂර දෙකට පසුව “රහි” යන අක්‍ෂර තිබෙන්නට ඇත. ඒ එසේ නම් ‘විහරහි’ යන්න මෙයින් ගම්‍ය වෙයි. එහි අදහස විහාරයේ යන්නයි. මෙකී ලිපියේ ඡායාරූපයෙන් අපට පැහැදිලි වන අවසාන අක්‍ෂර දෙක “බ” සහ “ක” යන්නයි. එම අකුරු දෙකේa පිල්ලම් නො පැනෙයි. එම අකුරු දෙකෙන් ‘බිකු’ යන්න කියෑවෙයි. එයින් භික්‌ෂුන් වහන්සේ නියෝජනය වෙති.

උතුරුමැද පළාතත් නාගිරි කන්ද පර්වත ලිපිය ක්‍රිස්‌තු වර්ෂ හයවැනි සියවසට අයත් එකකි. එහිද ලිපිය ආරම්භයේ “සිදධම්” මහකුමරතස රජ” යන්න ඇති අතර එහි අවසානයේද මෙසේ සඳහන් වෙයි. “බමණගිරිය වෙහෙර බිකු සගහට දෙපෙත කර කඩක සග සිරි” යනුයි. නාගිරිකන්ද පර්වත ලිපියෙන් කියෑවෙන්නේ මහ කුමාරදාස රජු විසින් භික්‍ෂුන් වහන්සේගේ සිව්පස ප්‍රයෝජන පිණිස බමණගිරි විහාරයට කුඹුරු හා වැව් පූජා කළ බවයි. මෙබඳු ඓතිහාසික සාධක අනුව අප විසින් ඉහත හඳුන්වා දෙනු ලබන පර්වත ලිපියෙන්ද කිසියම් විහාරයක භික්‍ෂුන් වහන්සේලා විෂයෙහි වැවක්‌ පූජා කරන්නට ඇති බව අනුමාන කරමු. උක්‌ත ශිලා ලේඛනය පිහිටි ස්‌ථානය නැගෙනහිර පළාතට ආසන්න බැවින් එම පළාතේ බෞද්ධ හා පුරාවිද්‍යා උරුමය වෙනුවෙන් නව හඳුනා ගැනීමක්‌ මෙයින් සිදුවෙයි. මේ ආකාර උරුම සාධක තව තවත් ඇත් දැයි සොයනු වටියි. ගවේෂණය කිරීමට දැන් බාධාවක්‌ නොමැත. යාන්ඔය ආශ්‍රිත සියලු ව්‍යාපෘතිවලට යටත්වන්නා වූ පරිසර කලාපයේ ඓතිහාසික උරුමයන් සුරැකීම කාලීන අවශ්‍යතාවකි. එහෙයින් පුරාවිද්‍යා ගවේෂණයට හා උරුම සුරැකීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමත් වෙනවා ඇතැයි විශ්වාස කරමු. ඒ සඳහා ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අප විසින් දැනුම් දෙනු ලබන පූර්ව දැනුම් දීමක්‌ වශයෙන්ද මෙය සලකනු මැනවි. අප වෙත ඡායාරූප දෙකක්‌ සහ තොරතුරු සැපයූ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මිනුම් සහායක අනුර ජයරත්න මහතාටත්, මිනින්දෝරු ශිල්පි චතුරංග වන්නිනායක මහතාටත් සෙසු අයටත් ස්‌තුති වෙමු.

 

උපුටා ගැනීම දිවයින ඉරිදා සංග‍්‍රහය

 

ආශේ්‍රය කෘති ;

1. ලක්‌දිව සෙල්ලිපි, කොත්මලේ අමරවංශ හිමි, ගුණසේන. කොළඹ. 1969

2. වල්ලිපුරම් රන්පත (- සම්පාදක ආචාර්ය මාලනී ඩයස්‌ , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. කොළඹ. 1992

3. EPIGRAHIA ZEYLANICA, vol. vii . EDITED by SADDAHAMANGAL KARUNARATHE.
ARCHAEOLOGICAL DERATMENT.CEYLON. 1984

4′ PARANAVITHANA. S INCERITONS OF CEYLON. vol. 11 part 1 ARCHAEOLOGICAL
SURVEY OF CEYLON 1983

5. තිස්‌ස බණ්‌ඩාර, වයි. කේ. මහනුවර අස්‌ගිරි මහ විහාරයීය පුස්‌කොළ පොත් එකතු පිළිබඳ ඓතිහාසික ග්‍රන්ථ විද්‍යාත්මක අධ්‍යයනයක්‌a (අමුද්‍රිත – පරිගණක පිටපත) 2007. සමාජීය විද්‍යා විද්‍යාපති උපාධි නිබන්ධනය, කැලණිය විශ්වවිද්‍යාලය පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයට ඉදිරිපත් කරන ලදී. ලේඛකයා සතු පිටපත. පි – 550

Please follow and like us:
0

Add a Comment

Your email address will not be published. Required fields are marked *

Close

Enjoy this blog? Please spread the word :)

  • RSS
  • Follow by Email
  • Facebook
    Facebook
  • Google+
    http://ithihasa.org/2018/01/03/%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%94%E0%B6%BA-%E0%B6%B4%E0%B7%84%E0%B7%85-%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80">
  • Twitter
  • Instagram