ඉපැරණි සිවු හෙළයේ ‘රොඩියෝ’

ඈත අතීතයේ, සිවු හෙළය (වර්තමානයේ ශ්‍රී ලංකාව ) විවිධ කුළ වලට අයත් ජන කොටස් බහුල ලෙස ජීවත් වූ රටකි. රොඩියන් ඒ අතරින් පහත්ම කුළයක් වශයෙන් හැඳින්වූ බව පත පොතේ සඳහන් වෙයි. යාක්ශ, නාඝ, රාක්ෂ සහ අසුර ගෝත්‍ර වල සම්මිශ්‍රණයක් ඔවුනුත් සතු බැවින් ඔවුනුත් සිවුහෙළයේ අපගේම ආදි වාසීන් බව පැහැදිලි වෙයි. මේ කෙටි විස්තරය ඔවුන්ගේ සම්භවය සහ ජීවන රටාව ගැනයි.

සෙසු දියුණු යැයි සැලකුණු ජනාවාස වලින් ඈත්ව වෙසුනු මේ ජන කොටස ජීවත් වුනු වාස භූමි අද සොයා ගැනීම තරමක දුශ්කර කටයුත්තකි. එනමුදු, ඔවුන් මධ්‍යම කඳුකරයේ කුඩා ගම්මාන වල සාම්ප්‍රදායික නිවෙස් වල ජීවත් වුනු බවට සාක්ශි ඇත. මොවුන්ගේ ප්‍රධාන ජීවිකා වී ඇත්තේ සත්ව සම් වලින් බෙර සෑදීම, බෙර වාදනය, විජ්ජා හා සාස්තර දැක්වීමයි. රොඩියන්ගේ සම්භවය ගැන ජන ප්‍රවාද බහුලය.

එකොළොස් වැනි සියවසේදී එක්තරා වැද්දෙක් පරාක්‍රමබාහු රජ වාසළට නිතර ගෝන මස් ගෙනාවේය. (මෙහි සඳහන් වන පරාක්‍රමබාහු රජ, පොළොන්නරුව රාජධානිය කරගෙන සිටි මහා පැරකුම් ද නැද්ද යන්න ගැන සාක්ශි නොමැත.) නියං සමයක එක් දිනක් ගෝනෙකු හෝ මුවකු දඩයම් කිරීමට නුපුලුවන් වූ හෙයින්, රාජ උදහසට ලක්වෙතැයි බිය වුනු වැද්දා අසළ තිබුනු ගම්මානයක ළමයකු මරා ඒ මස් රජ මාළිගයට ගෙන ගොස් ඇත.

එම මසෙහි රසය දැඩි ලෙස ප්‍රිය කර ඇති රජුගේ සුරූපී දියණිය (නවරත්න වල්ලී), හැම දාමත් ඒ මස් වර්ගයම ගෙනෙන ලෙස වැද්දාට නියෝග කළා ය. ටික කලක් යන විට අසල ගම් වල කුඩා ළමුන් අතුරුදන් වන්නට වූයෙන් මිනිසුන් බෙහෙවින් කලබලයට පත් වූහ. දිනක් රජුගේ කරණෑවෑමියා (කොන්ඩය කපන්නා) ගේ ළමයාද අතුරුදන් වූයෙන් ඔහු ඒ බව රජුට සැලකරනු වස් රජ මාලිගයට ගියේය. එදා සිරිතට අනුව මොහුටත් රජ මාළිගයේ අහාර පාන වලින් සප්පායම් වීමට අවස්ථාවක් ලැබී ඇත. තමන්ගේ අතට ලැබුනු මාලු පිණි සහිත බත් පතේ තම දරුවාගේ අතක තිබුනු විකෘති ඇඟිල්ලක් දැකීමෙන් බියට පත්ව මොහු එතැනින් පළා ගොස් ගමේ මිනිසුන්ට විස්තරය පැවසීය.

සිද්ධිය රජුට සැළ වීමෙන් පසුව, රජු වැද්දාගෙන් ප්‍රශ්න කළ විට ඔහු ඇත්ත හෙළිදරවු කළේය. දැඩි ලෙස කෝපයටත්, කළකිරීමටත් පත් වුනු රජතුමා තම දූගේ ස්වර්ණාභරණ සියල්ල ඇගෙන් ඉවත් කර ඇයව වැද්දාට භාර දී, දෙදෙනාවම නගරයෙන් පන්නා දමන ලදී. ඔවුන්ගෙන් පැවතෙන අනාගත පරම්පරා සියල්ලම අඩු කුළයකට අයිති වන බවත් ඔවුනට වෙනත් මිනිසුන් මෙන් රැකි රක්ශා කිරීමට වරම් නැති බවත් ඔවුන් ගෙයින් ගෙට ගොස් හිඟමන් ලබා ගෙන ජීවත් විය යුතු බවත් රජු නිවේදනය කලේය. ඔවුන්ගේ සෙවනැල්ලක්වත් වෙනත් මිනිසුනට නොවැටෙන්නට ඔවුන් වග බලාගත යුතු බවත් ඔවුනට අනෙක් මිනිසුන්ගේ ළිං වලින් වතුර බීමටද අවසර නැති බවත් රජ තවදුරටත් ප්‍රකාශ කළේය.

මෙලෙස පන්නා දැමුනු සුරූපී නවරත්න-වල්ලී ගෙන් සහ එම වැද්දාගෙන් පැවත එන්නෝ රොඩී කුළයට අයත්හු බවට ජන ප්‍රවාදයෙහි සඳහන් වෙයි. රොඩී යන්නෙන් අපවිත්‍ර යන අරුතක් පළ වෙයි.

ඉහත ජනප්‍රවාදයට ඉතාමත් සමීප ප්‍රවාදයක් නුවර යුගයේ සිරකරුවෙකුව සිටි ඉංග්‍රීසි ජාතික රොබර්ට් නොක්ස් ගේ පොතක සඳහන් වෙයි. එකම වෙනස වන්නේ එම ප්‍රවාදය තුල නවරත්න-වළ්ලී නොමැති වීමයි. එනම්, රජුට මස් සැපයූ වැදි කොටස මිනී මස් සැපයූ බව දැනගත් විට, ඔවුන් එම කුළයෙන් නෙරපා දමා එම පරපුර එතැන් සිට රොඩීන් ලෙස සැළකූ බවයි. කෙසේ හෝ වේවා ඓතිහාසික ග්‍රන්ථ වල වැඩි වශයෙන් සඳහන් වන්නේ මා මුලින් ගෙනහැර පෑ ජන ප්‍රවාදයයි.

පහත රූපයේ පරිදි එදා පහත් කුළයක් ලෙස සැලැකූ බැවින් රොඩී කාන්තාවන් උඩු කය වැසෙන සේ ඇඳුම් ඇඳීමට වරම් නොලද්දෝය. එනමුදු රාජකීය ලෙයකින් එන්නන් බැවින් ඔවුන්ගේ රූපසෞන්දර්යය රජවාසළ කුමාරිකාවන් පවා පරාද කළ බව ඉතිහාසය සාක්ශි දරයි. ඔවුන් නැට්ටුක්කාරියන් ලෙසද දැඩි කීර්තියක් ලබාගෙන සිටි බවත්, රූපය නිසාම ධනවතුන් ඔවුන්ව ගණිකාවන් ලෙස යොදා ගත් බවත් සඳහන්වෙයි.

මොවුන් ඉනා ගුරුකම්, හදි හූනියම් වලටත් ප්‍රසිද්ධියක් ඉසිලූ බව සඳහන් වේ. ඊට අමතරව එක පසෙකට ගෝන සමක්ද, අනෙක් පසට වඳුරු සමක්ද යොදා බෙර සෑදීමේ මනා නිපුණත්වයක් දැක්වූවෝය. රොඩී තරුණියන් බොහෝ දෙනා රන්වන් පැහැ සමක් ඇති රූමතියෝ යැයි කියති. ප්‍රාදේශීය නායකයින් පිනැවීම සඳහා මේ රොඩී තරුණියන් හොර රහසේ ගෙන්වා ගැනීමේ සිරිතක් අනාදිමත් කාලයක සිට පැවැති බව ප්‍රකටය. මේ හේතුව නිසාම රත්නවළ්ලියගේ සම්භවය හුදු ජනප්‍රවාදයක් වූවත්, රොඩියන් තමන්ගේ නහර වල රාජකීය ලේ ඇතැයි කියන කතාවේ එතරම් පුදුමයකුත් නැති බව අර් එල් ස්පිට්ල් මහතා වරක් කීය.

බෙර, නැටුම්, හදි හූනියම් කොතරම් කළද, ඉතිහාසයේ ලැබුනු රාජ අණ පරිදි මොවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ හිඟමනය යි. ඔවුන්ගේ කුළය ද කියා පාමින් යාදින්නක් ආකාරයට “හාමුදුරුවනේ… මේ අහිංසක රොඩියාට පිනට යමක් ලැබෙන්ට…” වැනි කෙටි ආයාචනයකින් පිනට යමක් ඉල්ලීම මොවුන්ගේ දීර්ඝ කාලීන සිරිතක්ව තිබුනු බවට ඉතිහාසය අපට කියා පායි. (මෙහි මුල් පදය හාමුදුරුවනේ නොව ‘හාන්දුරුවනේ’ යැයි ඇතැමෙක් කියති. කුළයෙන් උසස් අය සැලැකෙන්නේ හාන්දුරුවන් යනුවෙන් බවද ඇතැම් අය සළකති.)

1911 දී අවසන් වරට කුළ වෙන් වෙන්ව කරන ලද ජන සංගණනයේදී රොඩියන් 1,572 ක් සිටි බව සැළකේ. කාලයා ගේ ඇවෑමෙන් අද වන විට මෙම අසාධාරණයට ලක් වූ ජන කොටස සහමුලින්ම වඳ වී ගොස් හෝ උසස් ‍යයි සැළකෙන කොටස් සමඟ සම්මිශ්‍රනය වී හෝ ඇතැයි සිතමි.

Please follow and like us:
0

Add a Comment

Your email address will not be published. Required fields are marked *

Close

Enjoy this blog? Please spread the word :)

  • RSS
  • Follow by Email
  • Facebook
    Facebook
  • Google+
    http://ithihasa.org/2017/12/10/%E0%B6%89%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92-%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%94-%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B6%BA%E0%B7%9A-%E0%B6%BB%E0%B7%9C%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D">
  • Twitter
  • Instagram