පාණ්ඩ්‍යය දේශයෙන් පැමිණි පරාක්‍රම පාණ්ඩ්‍යය කුමරු පොලොන්නරු රාජධානියේ රජු බවට පත්ව සිව් වසරක් ගෙවී ගොස් තිබිණි. ඔහු පරදේශක්කාරයෙක් වුවත් ලංකාවේ සිංහලයන්ටත් බෞද්ධයාටවත් හානියක් පීඩාවක් කළේ නැත. කලින් රජකළ ලීලාවතී රැජිණ සේම රටවැසියන්ට ආදරයෙන් පාලනය ගෙන ගියේය.

සොළී දේශයෙන් හමුදාවක් ලංකා රාජ්‍යයට ඇතුළු වෙලා.

ඔත්තුකරුවකු රජවාසලට පැමිණ පරාක්‍රම පාණ්ඩ්‍ය කුමරු හමුවේ දණ බිම ඇන සැලකර සිටියේය.

ලංකා රාජ්‍යයට පරදේශක්කාරයෙක් ඇතුළුවෙලා… එසේනම් ඒ කුමන දේශයෙන්ද?

කුමරු විචාළේය.

ඒ මොහොතෙහිම තම ඇමැති මණ්ඩලය රැස්කර වූ කුමරු ලංකා රාජධානියට ඇතුළු වු සතුරන් පිළිබඳව සොයා බලන්නට අණකළේය. එසේම ඔවුන්ට එරෙහිව සටන් කරන්නට සේනාවලට නියෝග කළේය.

එහෙත් එය ලෙහෙසි පහසු කටයුත්තක් වූයේ නැත.

“දේවයන් වහන්ස විසිහතරදාහක මැර පිරිසක් සමඟ අපේ රාජ්‍යයට ඇතුළු වී සිටින්නේ කාලිංග දේශයේ මාඝ නම් පුද්ගලයෙක්. ඔහු ඉතාම කෲර ලෙස සිංහලයන්ට පහර දෙන බවත් ඔවුන්ගේ ගෙවල් දොරවල් ගිනි තබන බවත් දේපළ සහ වස්තුව කොල්ල කන බවත් දැනගැනීමට ලැබුණි. එපමණක් නොවෙයි ඔවුන් වෙහෙර විහාර දේවාල පිරිවෙන් වැනි සියලු ආගමික ස්ථානත් විනාශ කරන බව සැලයි. හාමුදුරුවරුන්ගේ සිවුරු ගලවන බවත් ස්ත්‍රීන් දූෂණය කරන බවත් සැලයි.”

සතුරු හමුදාවේ තොරතුරු සොයාගත් ආරක්ෂක ඇමැතිවරයා පරාක්‍රම පාණ්ඩ්‍ය කුමරුන්ට ප්‍රකාශ කළේය.

“කිමෙක්ද? කාලිංගයේ මාඝ…?”

පරාක්‍රම පාණ්ඩ්‍ය කුමරු විමසුවේය.

“මහා විනාශයක්. මේ විනාශයෙන් ගැලවෙන්නට මඟක් නැද්ද ඇමැති?”

“දේවයන්වහන්ස ඒ සඳහා අපේ හමුදා ශක්තිමත් නෑ. එසේම අපේ හමුදාවලට එවැනි කෲරකම් කරන්නටත් බැහැ. පැමිණ සිටින්නේ භිල්ල ගෝත්‍රිකයින්. ඔවුන් තිරිසනුන්ටත් වඩා දරුණුයි.  දැනටමත් අපේ වැසියන් බිල්ලන් ඇවිත් කියමින් පණ බයෙන් පලා යනවා.”
“එසේද. එසේනම් ඔවුන් මේ අගනුවරත් ආක්‍රමණය කරන්නට ඉඩ තිබෙනවා.”

නැහැ දේවයන් වහන්ස, එය එතරම්ම ලෙහෙසි වන්නේ නෑ. මේ වන විටත් දහසකට ආසන්න හේවායන් පිරිසක් අගනුවර වටා රැකවල්ලා සිටිනවා.

“ඇමැති එතකොට දළදා වහන්සේ?”

“දේවයන්වහන්ස, අපේ වාචිස්සර නාහිමිපාණන් දළදා වහන්සේ දිවිහිමියෙන් රැකගනු ඇති බව මට විශ්වාසයි.”

“නමුත් ඒ ගැන සොයා බැලීම ඔබේ වගකීමක් ඇමැති…”

“එසේය.”

“වහාම ගොස් නාහිමියන් මුණගැසී දළදා හිමියන් දිවිහිමියෙන් රැකගන්නා ලෙස මතක් කර සිටින්න.”

“එහෙමයි දේවයන් වහන්ස. මා මේ දැන්ම පිටත්වෙනවා.”

“හ්ම්”

පරාක්‍රම පාණ්ඩ්‍ය කුමරු සැනසුම් සුසුමක් හෙළුවේය.

ඒ වන විටත් ගම් නියම් ගම් නගර රාශියක්ම විනාශ වෙමින් තිබිණි. ගම්මාන එහෙම පිටින්ම ගිනිජාලා බවට පත්ව තිබිණි. වෙහෙර විහාර අහිමි වූ හාමුදුරුවරු, ගෙවල් දොරවල් අහිමි වූ ප්‍රභූවරු පතිවත කැලල් වූ කාන්තාවෝ අගනුවර කරා පලා යමින් සිටියහ.

ගතවූයේ දින කිහිපයක් පමණකි. කාලිංග මාඝ ප්‍රමුඛ බිල්ලෝ පොලොන්නරු රාජධානියේ අගනුවරට කඩා වැදුනහ. මාළිගය වටකළ බිල්ලෝ පළමුවෙන්ම කළේ පරාක්‍රම පාණ්ඩ්‍ය කුමරු අල්ලා ගැනීමය. ඔහුගේ දෙඇස් කෲර ලෙස උගුල්ලා දැමූ කාලිංග මාඝ, කුමරුගේ බිසව සහ අන්තඃපුර බිසෝවරු මාලිගා අංගණයට කැඳවීය. ඔවුන්ගේ කර බැඳි සියලු ආභරණ ගලවා ගත්තේය. ඔවුන්ගේ වස්ත්‍ර ඉවත්කර දූෂණය කළහ. දෙඇස් ගැල වූ කුමාරයාට තව තවත් වධ බන්ධන පමුණුවා ඔහු මරා දමා මාළිගයේ සියලු වස්තු කොල්ල කෑවේය. අනතුරුව එම මැදුරෙහි පදිංචි වූ කාලිංග මාඝ පොලොන්නරු රාජධානියේ අභිනව රජු ලෙස දිවුරුම් දී කටයුතු ආරම්භ කළේය.

අගනුවර වු සියලු විහාරාරාම විනාශ කිරීමට තම මැර හමුදාවන්ට නියෝග කළ රජු හාමුදුරුවරුන්ගේ සිවුරු ගලවා අගනුවරින් පලවා හැරියෝය.

මේ පුවත් උණුසුම් ලෙසින් රාජධානිය පුරා පැතිර යද්දී ධර්මග්‍රන්ථ සහ ධාතුන් වහන්සේලා රහසේ සඟවාගත් භික්ෂූහු යාබද මලය රටට හා රුහුණු රටට පලා යන්නට පටන්ගත්හ.

මේ වන විට පොලොන්නරු රාජධානියට කප්පම් ගෙවමින් ප්‍රාදේශීය පාලන කටයුතු කළ කුමාරවරු සිවු දෙනෙක් ලංකාවේ සිටියෝය. සුබ සෙනෙවියා සුබ පර්වතයෙහි බළකොටුවක් ඉදිකරගෙන වාසය කළේය. එය වත්මන යාපහුව ලෙස හැඳින්වෙයි.

රුහුණු රටේ ගෝවින්ද හෙල මත තවත් බළකොටුවක් තනාගත් බුවනෙකබාහු නම් මාපා රුහුණු රට පාලනය කළේය. සංඛ නම් තවත් සෙනෙවියෙක් මිණිපේ, ගංදෙණු පව්වේ වාසය කළ අතර මලය රටේ පාලන කටයුතු කරගෙන ගියේ විජයබාහු නම් කුමාරයෙකි. ඔහු වාසය කළේ දඹදෙණි පව්වේය. සුබ සහ සංඛ සෙනෙවිරු ද බුවෙනකබාහු මාපාවරයකු ද වූ අතර ඔවුනට රාජකීය උරුමයක්වත් රාජකීය රුධිරයවත් තිබුණේ නැත. එහෙත් විජයබාහු සංඝබෝධි රජ පරපුරෙන් පැවත ආ රාජකීය රුධිරය සහිත වූවෙකි. මේ නිසා මේ අවස්ථාවේ රාජධානියක් පිහිටුවීමට තරම් ශක්තියක් තිබුණේ ඔහුට පමණකි. ඇරත් වයසින් ද වැඩිමහලු වූ ඔහුට අනෙක් සෙනෙවිවරුන් අවනත කරගැනීමේ හැකියාවක් ද තිබිණි.

පොලොන්නරුවෙන් පලා ආ භික්ෂූහු ද විජයබාහු කුමරු හමුවී පොලොන්නරුවෙහි සිදුවන විනාශකාරී ක්‍රියා ගැන කරුණු කීහ. කෙසේ හෝ කාලිංග මාඝ පලවා හැර රට යළිත් එක්සේසත් කළ යුතු බවත් බෞද්ධ උරුමයන් යළි නගාසිටුවිය යුතු බවත් කීහ. ඒ සඳහා අවශ්‍ය ශක්තිය හා දිරිගැන්වීම නොඅඩුව දෙන බවට ද පොරොන්දු වූහ.

එහෙත් කාලිංග මාඝ සිටියේ වියරුවූවෙකු ලෙසිනි. ඔහුගේ ඔත්තු සේවාවන් ද ප්‍රබල විය. ඔහුට රහසේ තවත් රාජධානියක් ඉදිකිරීම කළ නොහැකි කරුණක් විය. එම නිසා රාජකීය ලේ සහිත වූ විජයබාහුට වඩාත් පරෙස්සම් වීමට සිදුවිය. ඔහු බොහෝ විට සිටියේ වනදුර්ග සහ ගිරිදුර්ගවල සැඟවගෙනය. එසේ සැඟවී සැඟවී සේනා සංවිධානය කිරීම මෙන්ම ප්‍රාදේශීය නායකයන් තමා වෙත අවනත කරගැනීම පොලොන්නරු රාජධානියේ තොරතුරු ලබා ගැනීම සේනා සංවිධානය මෙන්ම අවි ආයුධ නිෂ්පාදනය කිරීම වැනි දහසකුත් එකක් දේ කළ යුතු විය.

හැබැයි ඔය අතරේ ඔහු දඹදෙණි පර්වතය මුදුනේ මාළිගයක්ද රහසේ ඉදිකරන්නට පටන් ගත්තේය.

කාලිංග මාඝගේ කුරිරු පාලනය මේ වන විට පොළොන්නරු රාජධානිය සහමුලින්ම උඩුයටිකුරු කරමින් තිබිණි. එතෙක් කලක් කුලීනයන් ලෙස සැලකුණු උදවියට කුලහීනයන් සමඟ විවාහවන්නට බල කෙරිණි.

කුල කාන්තාවන් “බිල්ලන්ගේ” බිරින්දන් බවට ද වහලියන් බවට ද පත්කර තිබිණි. පන්සල්වල තිබූ අගනා ධර්ම ග්‍රන්ථ සාහිත්‍ය ග්‍රන්ථ තොග පිටින් ගිනි දෙවියන්ට බිලිකර තිබිණි. මේ අවැඩ ඉවසන්නට  බැරිම තැන පොලොන්නරුවේ වැඩ විසූ හාමුදුරුවරු පඬි රටට පලාගොස් තිබිණි.

පඬි රට නැත්නම් පාණ්ඩ්‍ය දේශයේ බුදු දහමට මෙන්ම හාමුදුරුවරුනට ද ගෞරව කෙරුණෙන් අපේ හාමුදුරුවරුන්ට වෙන යන්නට තැනක් තිබුණේ නැත. සමහරු රුහුණටත් මලය රටටත් පලාගිය නමුත් ඊට වඩා ආරක්ෂාවක් පඬි රටෙහි තිබිණි.

මහා කාලකණ්ණි යුගයක් මුළු ලංකාවටම උදා වී තිබිණි. ලාංකිකයන්ගේ මුදුන් මල්කඩ වූ රුවන්මැලි සෑය විනාශ කළ පුවත මායා රටේ විජයබාහු කුමරුට දැන ගැනීමට ලැබුණු විට ඔහුගේ ලේ ධාතුව උණුසුම් විය. තවදුරටත් හැංගි හැංගී බලා සිටිය නොහැකි බව තීරණය කළ විජයබාහු හැකි ඉක්මනින් රාජ්‍යයක් පිහිටුවීමට ඉටා ගත්තේය.

එහෙත් ඒ වෙනුවෙන් කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් වසර දාහතක්ම ගතවන තුරු බලා සිටින්නට විජයබාහුට සිදුව තිබිණි.
අවසානයේදී එනම් වර්ෂ එක්දහස් දෙසිය තිස් දෙකේදී දඹදෙණිය රාජධානිය ප්‍රකාශයට පත්කළ විජයබාහු කුමරු තුන්වැනි විජයබාහු නමින් කිරුළ පැලඳුවේය.

ඒ අනුව දඹදෙණිය රාජධානියේ රජ මැදුර දඹදෙණි ගල මත ඉදිකෙරුණි.

නමුත් සිංහලේ උතුම් සම්ප්‍රදාය වූයේ කිසියම් පුද්ගලයකුට රාජ්‍යයට උරුමකම් කිවිය හැක්කේ දළදා වහන්සේට හා පාත්‍රා ධාතුන් වහන්සේට උරුමකම් කීමෙන් පමණකි. එහෙත් මේ වන විට දළදා වහන්සේ වැඩසිටින්නේ කොහේදැයි යන්න අවිනිශ්චිත විය. පොළොන්නරුවේ හැටදාගේ නොහොත් දළදා මැදුරෙහි තැන්පත් කර තිබූ දළදා වහන්සේ කාලිංග මාඝ ආක්‍රමණය සිදුවෙද්දී භාරකාර හිමිවරුන් විසින් ආරක්ෂිත ස්ථානයකට රැගෙන යන්නට ඇත.

එහෙත් ඒ තොරතුරු ඇත්තේ අතිශය රහසිගතවය. පොලොන්නරුවේ දළදාව භාරව සිටි වාචිස්සර තෙරුන් සහ උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව පමණක් මේ රහස පිළිබඳව දැන සිටිනු ඇත. එසේ නම් පළමුව කළ යුත්තේ වාචිස්සර තෙරුන් වහන්සේ සොයා ගැනීමය. උන්වහන්සේ ලංකාවේ වැඩවෙසෙත් ද නොඑසේ නම් පාණ්ඩ්‍ය දේශයේ වැඩවෙසෙත් ද යන්න කවුරුවත් දන්නේ නැත. විජයබාහු රජු පොලොන්නරු රාජධානියට රහසේ දූතයන් පිටත්කර එහි දුෂ්කර ලෙස වාසය කරන භික්ෂුන් වෙතොත් දඹදෙණි රාජධානියට වැඩම කරන්නැයි ඉල්ලීමක් කළේය. එසේ පැමිණෙන භික්ෂූන්ට අලුතින් වෙහෙර විහාර ඉදිකර දී සිව් පසයෙන් සංග්‍රහ කරන්නට කටයුතු සූදානම් කළේය. එසේම පඬි රටෙහි සිංහල බෞද්ධ භික්ෂුන් රැසක් වැඩවෙසෙන බව දැන එරටට ද දූතයන් පිටත් කළෝය. කෙසේ හෝ සියලු හිමිවරුන් දඹදෙණි රාජධානියට වැඩම කරවාගෙන අනතුරට පත්වූ බුදුසසුන යළි නඟා සිටුවීමටත් අවසානයේ කාලිංග මාඝ පලවා හැර රට එකසේසත් කිරීමටත් විජයබාහු රජු උත්සාහ ගත්තේය.

විජයබාහු රජුගේ උත්සාහය සාර්ථක වන ලකුණු පහළ කරමින් භික්ෂූහු නම දෙනම බැගින් දඹදෙණිය රාජධානියට වැඩම කළහ. මේ හිමිවරු විජයබාහු රජු සම්මුඛව පොලොන්නරුවට හා අනුරාධපුරයට කර තිබෙන විනාශය ගැන කරුණු කීහ. බුදු සසුනට කර ඇති මේ විනාශය වහාම නතර කරන්නටත් විනාශ කළ සිද්ධස්ථාන යළි පිළිසකර කර බුදු සසුන සහ බුදු දහම නගා සිටුවන්නටත් උත්සාහ කරන ලෙස සියලු හිමිවරු ඉල්ලා සිටියහ. විජයබාහු රජුට අවශ්‍යව තිබුණේ ද එයමය.

මේ සඳහා දළදා වහන්සේ හා පාත්‍රා ධාතුව වැඩ සිටින තැනකින් තමාගේ රාජධානියට වැඩම කළ යුතු බව රජු අවධාරණය කළේය.
“අප දළදා වහන්සේ හා පාත්‍රා ධාතුන් වහන්සේ වැඩ සිටින තැන කෙසේ හෝ අනාවරණය කරගන්නම්.”

එවිට භික්ෂූහු රජුට පොරොන්දු වූහ.

රජතුමා අලුතින් පන්සල් ගොඩනගන්නට පටන් ගත්තේය. එසේම ඒ වන විටත් විනාශ මුඛයට ගොස් තිබූ කැලණි විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේය.

ඒ හැරුණු විට නටබුන් බවට පත්ව තිබූ බොහෝ වෙහෙර විහාර නැවත පිළිසකර කිරීමට ද කටයුතු යෙදුවේය.

පඬි රටට රහසේ වැඩමකර සිටි තෙර නමක් දඹදෙණියට  පැමිණ රජ ඉදිරිපිට පෙනී සිටියේ ඔය අතරතුරය.

රජු වහා හිමියන්ගේ දෙපා නැමද සිව් පසයෙන් සංග්‍රහ කළේය.

ඔබ වහන්සේ?

රජතුමා ගෞරව සම්ප්‍රයුක්තව විමසුවේය.

රජතුමනි, මම වසර ගණනාවක් තිස්සේ පාණ්ඩ්‍ය දේශයේ වැඩ සිටින්නේ. ඔබගේ ආරාධනය අනුවයි මේ රාජධානියට වැඩම කළේ.
බොහෝම ස්තූතියි. මගේ ව්‍යායාමය දඹදෙණිය රාජධානියක් ලෙස ගොඩ නැංවීමෙන් අනතුරුව කාලිංග මාඝගෙන් පොලොන්නරු රාජධානිය බේරාගැනීමයි. නමුත් ඒ සඳහා මට ඇති ලොකුම ගැටලුව දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ මගේ රාජධානියට වැඩම කරවීමට නොහැකි වීමයි.

“රජතුමනි, කාලිංග මාඝ බිල්ලන් සමඟ පැමිණ පොලොන්නරුව විනාශ කරන විට හැටදාගෙයි දළදා වහන්සේ හා පාත්‍රා ධාතුන් වහන්සේ බාරව සිටියේ මමයි.”

හාමුදුරුවෝ කීහ.

රජතුමා නැවත වතාවක් තෙරුන් වහන්සේගේ දෙපා නැමද එකත්පස් වූයේය.

නාහිමියනි ඉතින් දළදා වහන්සේ රැකගන්නට ඔබ වහන්සේට හැකි වුණාද?

තෙරුන් වහන්සේගේ මුවඟ රැඳුණේ ආඩම්බර සහගත හසරැල්ලකි.

නාහිමියනි මේ වන විට දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ වැඩ වාසය කරන්නේ කොහිද යන්න ඔබවහන්සේ දන්නවාද?

“ඔව්.”

“කොතනකද නාහිමියනි.?”

“ඉතාම ආරක්ෂිතව කොත්මලේ ප්‍රදේශයේ රහසිගත ස්ථානයක.”

“දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුව වැඩම කරවා පෙර පරිදිම පුද පූජා කිරීමට මට අවශ්‍යයි.

“එසේනම් ඒ සඳහා සුදුසු තැනක දළදා මැදුරක් ඉදිකරන්න රජතුමනි. ඉනික්බිතිව අපි ඒ මැදුරට දළදා වහන්සේ වැඩම කරවමු.”

වාචිස්සර තෙරුන්ගේ ප්‍රකාශයෙන් උදම් වූ රජු ඒ මොහෙතේම මහ ඇමැති කැඳවා දළදා මැදුර ඉදිකිරීමේ කටයුතු ඇරඹීමට නියෝග කළේය.

“දේවයන්වහන්ස, ඒ කෙබඳු තැනකද?”

මහ ඇමැති විමසුවේය.

මේ රාජ්‍යය තවමත් තිබෙන්නේ අනතුරේ. කොයි මොහොතක හෝ සතුරු තර්ජනයක් එල්ල වීමටත් බැරි නැහැ. ඒනිසා දළදා මැදුර ඉදිකළ යුත්තේ ආරක්ෂිත ස්ථානයකයි මහ ඇමැති.

එහෙමයි.

අතීතයේදී මා වන දුර්ග සහ ගිරි දුර්ග රැසක සැඟවී සිටියා. මා යෝජනා කරන්නේ බිල්ල (බෙලිගල) පර්වතය වඩා සුදුසු බවයි.

එතැනට දෙවියන්ට මිස මිනිසුන්ට පහසුවෙන් ළඟා වන්නට බැහැ. ඒ නිසා දඹදෙණිය සතුරන් ආක්‍රමණය කළත් දළදා වහන්සේට සහ පාත්‍රා ධාතුවට හානියක් අනතුරක් වන්නට ඉඩක් නැහැ.”

බිල්ල පර්වතය තිබෙන්නේ ඒ තරම්ම දුෂ්කර තැනක. ආරක්ෂිත තැනක.