රාවණාගේ රටේ ප්‍රධාන සුසාන භූමිය ඉබිබන්කටුවයි

රාවණා යුගයේ භාවිතා කළේ සූර්ය ශක්තිය හෙවත් සුර්ය බලය වේ. ලෝකයේ බලය වෙනුවෙන් විවිධ ද්‍රව්‍ය භාවිතා කළ සහ කරන බව අප කවුරුත් දන්නා කරුණකි. වර්තමානයේ බලය වෙනුවෙන් භාවිතා කරන ද්‍රව්‍ය අවසානවේගන යමින් පවතී. ගල් අඟුරු, යකඩ, ඛනිජ, ලෝහ, ඛනිජ තෙල්, ඊට උදාහරණ වශයෙන් සඳහන් කළ හැකිය. වර්තමානයේ කාර්මික වාණිජ යුගය හෙවත් ඉලෙක්ට්‍රෝනික යුගය ද ඉක්මනින් අවසන් වේගන යමින් පවතී. ඉන්පසුව භාවිතා කළයුතු ​ෙවන්නේ සූර්ය ශක්තියයි. ඒ පිළිබඳව ද පර්යේෂණ ලෝකයේ නොයෙකුත් දියුණු රටවල මේ වන විටත් පැවැත්වෙන බව රහසක් නොවේ. එයින් කියැවෙන්නේ නැවත රාවණා යුගයට පැමිණෙන බවට ඉඟියක් නොවේද? ආචාර්ය ඔබේසේකරයෝ විමසති.

රාවණා රජතුමා ජීවත්ව සිටි ප‍්‍රාග් ඓතිහාසික යුගය ලොව ඉතාමත්ම දියුණු තත්ත්වයක පැවති බවට එක් උදාහරණයක් නම්, මිසයිල භාවිතා කිරීම ය. නූතන ඉතිහාසයේ පැරණිතම ශිෂ්ටාචාරය වශයෙන් සැලකෙන්නේ ග‍්‍රීක් ශිෂ්ටාචාරයයි. ඊට වඩා අවුරුදු දස දහස් ගණනක් පැරණි සාරවත් සංස්කෘතියක් ශ‍්‍රී ලංකාවටත් මුළු මහත් පෙරදිගත් පැවති බව මේ අනුව පැහැදිළි වේ. ශ‍්‍රීමත් විලියම් ජෝන්ස්ගේ මතය අනුව එකල සාමාන්‍ය මිනිසෙකු ගේ පරමායුෂ අවුරුදු 20,000 යැයි කියති. මානව ඉතිහාසයේ ඉතාමත් දියුණු යුගයක ජිවත් වූ චක‍්‍රවර්ති රජ කෙනෙක් වශයෙන් රාවණ රජු හැඳින්විය හැකි ය.

එවකට ලංකාපුර රාජධානියේ ජීවත් වූ ජන වර්ග කොටස් හතරකි. ඒ, යක්ෂ, නාග, දේව, ගන්ධබ්බ ගෝත‍්‍ර සතරයි. යක්ෂ හා රාක්ෂ වශයෙන් ජන වර්ග ශ්‍රේණි දෙකක් ජීවත් වූ අතර, රාවණා රජතුමා අසුර නොහොත් යක්ෂ ග්‍රෝත‍්‍රයට අයත් වූහ. රාවණා රජු සම්බන්ධකම් පැවති රාජ්‍යයන් දහයකි. දිව්‍ය ලෝක සහ අඟහරු වැනි ග‍්‍රහලෝක සමඟ ද සම්බන්ධතා පවත්වා ඇත. රාමායනය ග‍්‍රන්ථයේ ලංකාපුරය වශයෙන් සඳහන් ​ෙවන්නේ බටදඬු කඳුවැටිය ආශ‍්‍රිත ප‍්‍රදේශය වශයෙන් සැලකිය හැකි බවත්, නකල්ස් යනුවෙන් හඳුන්වනු ලබන බටදඬු කඳුවැටිය එදා රාවණා රජ දහන ​ෙවන්නට ඇති බවත් සිතිය හැකිය.

ලොව ඉහළ ශිෂ්ටාචාරයක් ගොඩනැගූ හෙළ යක්ෂ ගෝත‍්‍රිකයෝ එදා විවිධ රටවල සංචාරය කරමින් සිය විද්‍යා තාක්ෂණ දැනුම බෙදා දෙමින් අලුත් රට රාජ්‍යන් සොයා ගනිමින් මුළු මහත් ලෝකයටම වටිනා මෙහෙයක් ඉටු කළෝ ය. ගුවනේ පියාසර කිරීමට, ගංගා මුහුදේ යාත‍්‍රා කිරීමේ තාක්ෂණය පමණක් නොව, උමං මාර්ග කැණීමේ තාක්ෂණයෙන් ද පොහොසත් ජාතියක් වූහ. මහා ඍෂිවරුන් හත් දෙනෙක් ලෝකය පාලනය කළ බව සඳහන් වේ. ඔවුන් නම් අත‍්‍රී, මලචි, පුලහ, ක‍්‍රත‍්‍ර, අංගීරස, වශිෂ්ට හා පුලස්තිය. මහා බ‍්‍රාහ්මයාගේ පුත‍්‍රයන් ය. මොවුන් බ‍්‍රාහ්මණයන් වුවද, අයත් වන්නේ යක්ෂ ගෝත‍්‍රයට ය. ඔවුන්ගේ ආගම සූර්ය වන්දනාවයි. මෙම බ‍්‍රාහ්මණයන් ගේ ජන්ම භූමිය වූයේ මහා භාරතයයි. එදා ශ‍්‍රී ලංකාව අයිති වූයේ ද මහා භාරතයටයි. එහි උතුරු ඉන්දියාව, දකුණු ඉන්දියාව හා එදා රතු ඉන්දියාව වශයෙන් ද කොටසක් පැවතිණි. මෙරට රතු මැණික් බහුලව පැවති නිසා රතු ඉන්දියාව වශයෙන් හඳුන්වා ඇත්තේ ශ‍්‍රී ලංකාවයි. මේ අනුව අැමෙරිකාවේ වෙසෙන ආදි වාසීන් වූ රතු ඉන්දියානුවන් මෙරට යක්ෂ ගෝත‍්‍රික හෙළයන්ගෙන් පැවත එන බව ආචාර්ය ඔබේසේකරයන්ගේ අදහසය.

එපමණක් ද නොවේ අැමෙරිකාවේ දෙවියෙකු වශයෙන් සැලකෙන විරෝචන ද ලංකාවේ යක්ෂ ගෝත‍්‍රික හෙළයෙකි. උතුරු අමෙරිකාවේ මෙන්ම දකුණු අැමෙරිකාවේද ආදී වාසින් රතු ඉන්දියානුවන් ලංකාවේ පුරාණ යක්ෂ ගෝත‍්‍රික හෙළයන් යැයි ඉපැරණි මූලාශ‍්‍ර අනුව පෙනී යන බවත්, නැගෙනහිර පළාත වන ශ‍්‍රී ලංකාවේ සිට පැමිණෙන දෙවියෙක් මෙක්සිකන් ජාතිකයින් විවිධ ලෙඩ රෝග, අනතුරු, ආදියෙන් ආරක්ෂා කරනු ලබන බවත්, ආචාර්ය ඔබේසේකරයන් තවදුරටත් පවසයි.

ආර්ය පවුලේ මුල් පදනම ගොඩනැගී පවතින්නේ මෙරට පැරණි යක්ෂ, දේව, නාග, ගන්ධබ්බ යන ජනවර්ගවල එකමුතුවෙනි. ඒ පිළිබඳව මෙතෙක් කරන ලද පර්යේෂණ වලින් පැහැදිළි වේ. ක‍්‍රි.පු 5000 දී රාවණා රජු හෙළදිව පාලනය කළ සමයේ දී සුර අසුර වශයෙන් ප‍්‍රධාන ජන වර්ග කොටස් දෙකක් පැවති අතර, එම ජන වර්ග කොටස් දෙකම එකම මූලයකින් ආරම්භ කර ඇති බවට සාධක බොහෝ ය. මේ අනුව ප‍්‍රථම ආර්ය පවුල වශයෙන් ඉහත සඳහන් කරන ලද මහාබ‍්‍රාහ්මණයන් හෙවත් ඍෂිවරුන් වශයෙන් සිතා ගත හැකි ය. විද්‍යා, කලා ශිල්පවලින් ලොව අර්ථවත් කිරීම සඳහා ප‍්‍රථම ආර්ය පවුලෙන් කොටස් හතක් මුළු ලොව පුරා විසිරි ගියෝ ය. මෙම ප‍්‍රථම ආර්ය පවුල ආරම්භ වූයේ ඉන්දියන් සාගරයේ ශ‍්‍රී ලංකාවෙනි. රතු දිවයින මෙන්ම රතියස්ගේ දිවයින ලෙස ද ඈත අතීතයේ මෙරට හඳුන්වා දී ඇත.

ප‍්‍රථම ආර්ය පවුලේ සාමාජිකයෝ කැස්පියන් මුහුදේ උතුරු වෙරළ දිගේ වොල්ගා නදිය දෙසට ගොස් දකුණු රුසියාවේ බොල්ටික් තැන්නට ළඟා වී ඇත. එම ආර්ය පවුල නම් කාශ්‍යප ඍෂිවරයා ඇතුළු කණ්ඩායමයි. ක‍්‍රි.පු 390 දී රෝමය අල්ලා ගන්නේ ද මෙම ඉන්දු ආර්ය පවුලේ කෙල්ට් සහ ටියුමන් විසිනි. මොවුන්ගෙන් එක් පිරිසක් ග‍්‍රීසියට පැමිණ ඉතාලිය සහ ස්පාඤ්ඤය ද සිය සංස්කෘතියට යටත් කරගෙන නැගෙනහිරින් ඇසෑමය දක්වා ව්‍යාප්ත කර තිබේ. පර්සියාවේ ආදි වාසීන් ද යක්ෂ ගෝත‍්‍රික හෙළයන් බවට විශ්වාසයක් පවතී. එයට හේතුව සිංහ කොඩිය එහි පැරණි ධජය වීම ය.

මිසරය පිහිටා තිබෙන්නේ අප‍්‍රිකා මහාද්වීපයේ උතුරු කෙළවරට ​ෙවන්නට ය. එහි ප‍්‍රථම රජු මේනාස් රජතුමා ය. ඔහු මහා භාරතයේ මනුනාත් රජුම බව ගණනාත් චොප්රාගේ ප‍්‍රත්‍යක්ෂ ශරීරම් ග‍්‍රන්ථයේ සඳහන් කර තිබේ. ප‍්‍රථම ආර්ය පවුලේ තවත් යක්ෂ ගෝත‍්‍රික හෙළයෝ පිරිසක් ඉතාලියට හා ස්පාඤ්ඤයටගොස් පදිංචි වූහ. ඉන්දු යුරෝපීය ජාතික ආදි වාසින් ද මෙම යක්ෂ ගෝත‍්‍රිකයන්ගෙන් පැවත එන්නන්ය. අපේ පුරා විද්‍යාඥයින් පවසන ආකාරයට බලංගොඩ මානවයා මෙම රාවණා යුගයේ ආදි හෙළයෙකි.

ඒ ආකාරයෙන් යක්ෂ හෙළ ගෝත‍්‍රිකයන් ලෝකයේ බොහෝ රටවල ව්‍යාප්ත වෙමින් එම රටවල් දියුණු තත්ත්වයට පත්කර තිබේ. මෙක්සිකෝවේ මායා ශිෂ්ටාචාරය ගොඩ නගා ඇත්තේ ද, ඒ ආකාරයෙන් උතුරු සහ දකුණු අමෙරිකාවට ගිය හෙළයන් ය. ග‍්‍රීක ඉතිහාසයේ සඳහන් ​ෙවන පරිදි ඉන්දු – ග‍්‍රීක සබඳතා ගොඩ නැගීම සඳහාත් මෙම හෙළයන් උපකාරිවී ඇත. දක්ෂ නාවිකයන් වුූ හෙළයන් නයිල් නදී තීරයේ මිසරයටත්, මධ්‍ය ධරණී මුහුදේ ආසියාවටත්, නුදුරුව පිහිටි ක‍්‍රිටයටත් යුප‍්‍රටිස් නදී තීරයේ මෙසපොටේමියාවටත් යාත‍්‍රා කර තිබේ. නීතිය සෑදීමට මුල් වූ සාලියන්වරු ද, ලෙබනනයේ ෆීනීෂියන්වරුන් ද යක්ෂ ග්‍රෝතික හෙළ සම්භවයක් ඇති පිරිසකි.

ඒ ආකාරයෙන් ලෝකය පුරා ව්‍යාප්ත වූ යක්ෂ හෙළයෝ කන්ද උඩරට, නුවරඑළිය, බදුල්ල, ​ෙපාළොන්නරුව, අනුරාධපුරය, මහනුවර මාතලේ දිස්ත‍්‍රික්කවලත් මොනරාගල දිස්ත‍්‍රික්කයේ සහ හලාවත වැනි ප‍්‍රදේශවලත් ජීවත් වූහ. එපමණක් ද නොව එම පෙදෙස්වල රාවණා රජුගේ රාජධානිය පැතිරීගොස් තිබුණු බවට පුරා විද්‍යා ඓතිහාසික සාක්ෂි අපමණය. රාවණා යුගයට අයත් ස්ථාන ද කිහිපයකි. ඒවා නම් සීගිරිය, ඉබ්බන්කටුව, පුරාණ සුසාන භූමිය, මාතලේ අබ්බොක්ක දේවාලය, හලාවත මුන්නේශ්වරම්, ලංකාපුර රාජධානිය සහ සබරගමුව ආදිය වේ.

රාවණා රජුගේ ලංකාපුරයේ රන්, රිදී, මුතු, මැණික්, මිනිරං පමණක් නොව කුරුඳු වැනි බෝග බහුලව පැවති බව සඳහන් ය. එහි විශ්වකර්මයා විසින් සියතින් රන්, රිදී, මුතු, මැණික් ඔබ්බවා නිම කරන ලද මන්දිර සමූහයකි. එවන් ආකාරයේ මන්දිර සහිත විථි සිය ගණනක් ලංකා පුරයේ සාදා තිබුණි. මේ ආකාරයේ පැවති ලංකාපුරය පිහිටියේ ත‍්‍රිකූට මස්තකයේ බව සදහන් වේ. මලය නමින් හැඳින්වෙන පර්වත පිහිටියේ ලංකාවේ කඳුකර ප‍්‍රදේශයේ බවත්, ටොලමි ප‍්‍රකාශකොට ඇත. ඒ අනුව පර්යේෂණාත්මකව ගැඹුරට සිතා බලන විට අද ”නකල්ස්” යනුවෙන් හඳුන්වන ”බටදඬු” කඳුවැටිය එදා රාවණා රජ දහන වූවාට සැක නැත.

ලංකාපුර රාජධානිය සීගිරිය දක්වා විහිදී ගිය අතර පසු කාලයක රාවණා රජු සිය අග‍්‍ර මාලිගය ලෙස ප‍්‍රයෝජනයට ගෙන තිබෙන්නේ ද එය බව පුරාවිද්‍යා ගවේෂකයන්ගේ මතය වී තිබේ. මෙම සීගිරියේ සිට ලග්ගලට තිබෙන්නේ ගුවන් සැතපුම් කිහිපයකි. යක්ෂ ගෝත‍්‍රික ජනතාව බෙහෙවින් වාසය කළ ලග්ගල, මිනිපේ, හඳපානාව, බින්තැන්න ඊට උදාහරණ කිහිපයකි. ලග්ගල හෙවත් ලංකාපුර රාජධානිය මාතලේ දිස්ත‍්‍රික්කයේ ද, ‘‘සිරස වස්තු පුර” රාජධානිය බදුල්ල දිස්ත‍්‍රික්කයේ මහියංගනයේ ද පිහිටා තිබුණි.

ඉබ්බන්කටුව ගැන සඳහන් කිරීමේ දී, අවුරුදු 3000 කට වඩා පැරණි අතීතයක් හිමි ඓතිහාසික සුසාන භූමියක් වශයෙන් හඳුන්වා දිය හැකි ය. එය පරික්ෂා කිරීමේදී පෙනී යන්නේ රාවණ යුගයට අයත් බවකි. කාමර සහිත ඉපැරණි සුසාන ගෙවල් සහිතය. මාතලේ දිස්ත‍්‍රික්කයේ දඹුල්ල මැතිවරණ කොට්ඨාසයට අයත් වූවකි. කෙසේ වෙතත් ඉබ්බන්කටුවේ සිට ලග්ගලට තිබෙන්නේ සැතපුම් කිහිපයක දුරකි. මේ අනුව සළකා බලන විට රාවණා රාජධානියේ ප‍්‍රධාන සුසාන භූමිය මෙය වූවා විය හැකි ය.

ඉබ්බන්කටුවේ ප‍්‍රාග් ඓතිහාසික සුසාන භූමිය ක‍්‍රි.පු 770-440 ට අයත් බවට විද්වතුන් කාල නිරීක්ෂණය කර ඇත. ලංකාපුර ජනතාවගේ සංස්කෘතික ලක්ෂණ මෙන් ම විද්‍යාත්මක දස්කම් මෙම සුසාන භූමියේ කැණීම් තුළින් මතුවී තිබේ. රාමායනය පවසන ආකාරයට යක්ෂ ගෝත‍්‍රිකයින්ගේ පළමුවන ගෝත‍්‍රයට රාවණා ප‍්‍රමුඛ රාක්ෂ බ‍්‍රාහ්මණයන් අයත් වේ. ඒ අනුව මළමිනී ආදාහනය කිරීම මහා භාරතයේ පමණක් නොව ශ‍්‍රී ලංකාවේ ද ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිට පැවති බ‍්‍රාහ්මණයන්ට අයිති චාරිත‍්‍රයකි.

ඉබ්බන්කටුව සොහොන් බිමේ කැණීම්වලින් සොයාගත් අඟුරු අවුරුදු 2700 ක් පමණ පැරණි බැව් ජර්මන් ජාතික විද්‍යා පර්යේෂණ ආයතනය මඟින් කාල නීර්ණය කර ඇති බැව් ආචාර්ය සෝමදේවගේ අදහස බව ආචාර්ය ඔබේසේකරයෝ පවසති.

ආදී වාසීන්ගේ අදහස වනුයේ ‘‘ඉබ්බා” යන වචනය පළමුවෙන්ම භාවිතා කළේ ‘‘මිනී හිසට” බවත්, ඉදිබුවා ද මිනී හිසට සමාන බැවින් ඉදිබුවාට ද ඉබ්බා යනුවෙන් කියන බවත් ය.

විජය කුමාරයාගේ පැමිණීමටත්, මහින්දාගමනයටත් පෙර, මෙරට තුළ උසස් අවමංගල්‍ය චාරිත‍්‍ර වාරිත‍්‍ර තිබුණු බවට ඉබ්බන්කටුව හොඳම උදාහරණය සපයයි. ඒ යුගයේ මිනී පෙට්ටි වෙනුවට අගනා මැටි බඳුන් පාව්ච්චි කළ බව පොම්පරිප්පු සිට ඉබ්බන්කටුව දක්වා සෑම සුසාන බිමකින්ම සොයා ගත හැකි වූ එක් සාධකයකි. මිනීි හිස් කටු බහුලව පැවති නිසා මෙම ප‍්‍රදේශයට ඉබ්බන්කටුව යන නම භාවිතා කරන්නට ඇතැයි විශ්වාසයක් පවතී. ශ‍්‍රී ලංකාවේ ඈත අතීතයේ ලාභදායී වෙ​ෙළඳාමක් වූයේ ඉබිකටු අපනයනය ය. ඇතැමෙක්ගේ අදහස ඒ නිසා මෙම නම ලැබී ඇති බවකි. කාමර සහිත සොහොන් ගෙවල් ඉතිහාසය ඇරඹෙන්නේ ඉබ්බන්කටුවෙනි.

රාවණා ජීවත් වූ ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මුතු, මැණික්, සත්ත්ව ඇටකටු, ඇත්දත් ආදියෙන් නිම කළ භාණ්ඩ රැසක් ලක්වැසියන් භාවිතා කළ බවට සාධක රැසක්ම ලැබී ඇති බව මහාචාර්ය බණ්ඩාරනායක හා සෝමදේව කළ පර්යේෂණවලින් මැනවින් පෙනී ගොස් ඇත. රන් ආලේප කළ පබළු ඇටයක් මෙම සුසාන භූමියෙන් සොයා ගැනීම එයට එක් උදාහරණයක් පමණි.

Please follow and like us:
0

Add a Comment

Your email address will not be published. Required fields are marked *

Close

Enjoy this blog? Please spread the word :)

  • RSS
  • Follow by Email
  • Facebook
    Facebook
  • Google+
    http://ithihasa.org/2017/12/05/%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1-%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%8F">
  • Twitter
  • Instagram