මෙරට අවසන් කැරැල්ලේ අවසන් හෝරා කිහිපය

ක‍්‍රි.ව. 1815 ඉංග‍්‍රීසීන් කන්ද උඩරට අල්ලා ගැනීමෙන් පසු සිංහල විරුවන් සමඟ සටන් කිහිපයක්ම ඇති විය. ඒ 1818, 1834, 1842 සහ 1848 යන වසරයන්හිදී ය. එහෙත් 1848 වසරේදී පැවති සටන විශේෂිතය. එයට හේතුව නම්, ඊට පෙර පැවති සටන්වල පරමාර්ථය වූයේ ඉංග‍්‍රීසීන්ගෙන් සිංහල රාජ්‍යය බේරා ගැනීමය. එම සටන් උඩරටට පමණක් සීමා වීමෙන් එය පැහැදිලි වේ.

එහෙත් 1848 හඟුරන්කෙත ඩිංගිරාළ වීරයා යටතේ පැවති සටන මුළු රට පුරාම පැතිර ගියේය. මේ නිසා එයට කෘතගුණ සැලකීමක් වශයෙන් ඔහුගේ පිළිරුවක් ඉදිකිරීම සඳහා හඟුරන්කෙත මළුවේදී පසුගිය නිදහස් දිනයේදී සූද‌ානම් කර තිබුණද, පසුව එය වෙනස් කිරීමට සිදු වූ බව සංවිධායක මණ්ඩලයේ සාමාජිකයෙක් පැවසීය. එහිදී පුරන් අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා, කරෝ අප්පු, දිනිස් යන අයගෙන් සිදු වූ මෙහෙය ද අමතක කළ නොහැකිය.

ඩිංගිරාළගේ චරිතය සුවිශේෂී වන්නේ කරුණු කිහිපයක් නිසාය. ඔහු තම දේශය බේරා ගැනීම සඳහා සියල්ල අතහැර දැමීම ඉන් ප‍්‍රධානය. ක‍්‍රි.ව. 1848 මැයි මස 09 දින ප‍්‍රදේශයේ නොතාරිස් රාළහාමි නිවෙසට ගෙන්වා තමා සතු සියලු දේපළ, අංක 10084 දරන ඔප්පුවකින් ලියා පවරා දෙමින් ඉංග්‍රීසීන්ට එරෙහිව පළමු වෙඩි මුරය තැබීය. තම ජීවිතයේ හොඳම කාලය සැප සම්පත් සහිතව ගෙවා දැමීමට අවස්ථාව තිබියදී සියල්ල අතහැර දමා ගමෙන් පිටවෙන්නේ එවන් උද‌ාර අරමුණකිනි.

කන්ද උඩරට හඟුරන්කෙත නමැති සුන්දර ගම්මානයේ ඉපිද කුරුණෑගලදී මිය යාමෙන් කියවෙන්නේ පොදුවේ ඔහු තම රට ගැන සිතා කටයුතු කළ දේශ ප්‍රේමියෙකු බව නොවේද? ඔහු සිංහලේ බේරා ගැනීම සඳහා සටන දියත් කරන්නේ වයස අවුරුදු හැටේදීය. ඒ එම වයසේදීත් තරුණයකු මෙන් කටයුතු කිරීම වර්තමානයේදී නම් සිතා ගැනීමටවත් නොහැකි තත්ත්වයකි. සටන මෙහෙය වූ ආකාරය ගැන දැන ගැනීමට පෙර ඔහු පිළිබඳ තොරතුරු සොයා බැලීම වැදගත් යැයි සිතේ..

හඟුරන්කෙත ඩිංගිරාළ නොහොත් විදිපැල්ලේ බණ්ඩාර නමින් හඳුන්වනු ලබන්නේ සත්කෝරළේ රජතුමාය. 1848 විමුක්ති සටනේ සැබෑ නායකයාය. ඒ නිසාම කැරැලි ගැසීම, කුමන්ත‍්‍රණය කිරීම යන කරුණු දක්වමින් යුද්ධාධිකරණයේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් එම්. මැක්ඩොනල්ඩ් විසින් මෙම විරුවා වෙඩි තබා මරණයට පත් කරන ලදී. ඒ සමඟම සිංහලේ අන්තිම පොදු ජන සටනේ සෑබෑ නායකයාගේ අවසානය සිදු විය.

ඔහුගේ මෘත දේහය කුරුණෑගල නැගෙනහිර කඩවත් ඉමේ මුතුගල නම් ස්ථානයේ නුග ගසක එල්ලා දින 4ක් යන තුරු තැබිණ. මෙම නුග ගස කාලයක් පූජනීයත්වයෙන් සලකනු ලැබිණ. දින 4 කට පසුව මෙම යුව රජතුමාගේ සිරුර ඒ අසල වළදමා ගල් පුවරුවකින් වසා තබන ලදී. එවන් නායකයෙක් බිහි වූයේ ඉංග‍්‍රීසින් විසින් බෞද්ධ ජනතාවට කරන ලද කෙණහිලිකම් නිසාය. රේන්ද පනත, මුඩුබිම් පනත ඊට හේතු වූ කරුණු අතර කිහිපයකි.

1848 ජාතික විමුක්ති සටනට ආසන්න හේතූන් මේවාය.

බොහෝ දෙනෙක් කතා කරන්නේ පුරන්අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා ගැන පමණකි. ඔවුහු එම සටනෙහි පෙරමුණේ සිටිය බව සැබෑය. එහෙත් ඔවුන් ද මෙහෙයවා ඇත්තේ යුවරජ වූ ඩිංගිරාළ විසිනි. ඒ බව සනාථ කළ හැකි කරුණු කිහිපයකි. ඉන් පළමු වැන්න නම් මෙම සටනේදී පළමුවෙන්ම මරණයට පත් වූ නායකයා වූයේ වඳුරාගල නොතාරිස් ය. සත් කොරළේ සටන් නායකයා ය. ඔහු මරණයට පත් වුවත්, සත්කෝරළයේ සටන නැවතුණේ නැත. ඊට හේතුව වූයේ සටනේ සැබෑ නායකයා වූ හඟුරන්කෙත ඩිංගිරාළ සත්කෝරළයේ සිටීමත්, වඳුරාගල නොතාරිස්ගෙන් අඩපණ වූ සත්කෝරළයේ සේනාව ප‍්‍රතිසංවිධානය කර ගැනීමට ඔහුට හැකිවීමත් නිසා ය.
ඊළඟට මරණයට පත් වූයේ හඟුරන්කෙත ඩිංගිරාළය. ඒ වන විට සටනේ නායකයින් ලෙස පෙන්වා දීමට උත්සාහ කරන ගොන්ගාලේගොඩ බණ්ඩා, පුරන්අප්පු යන දෙදෙනා ද ජීවත්ව සිටියහ. ඔවුන් යටතේ විශාල සේනාවක්ද විය. එනමුත් ඩිංගිරාළගේ මරණයෙන් පසු සේනාවේ බලාපොරොත්තු සුන්විය. ඒ නිසා ගොන්ගාලේගොඩ බණ්ඩාට හෝ පුරන්අප්පුට තමන් යටතේ සිටි සේනාව පාලනය කර ගැනීමට නොහැකි විය. අවසානයේ සිදු වන්නේ සටන අතහැර දැමීමය.

 



හඟුරන්කෙත යන නම ලැබූ ආකාරය පිළිබඳ විවිධ කට කතා කිහිපයකි.

සංඝයාවහන්සේලාට අයත් උඩමළුවේ වැව පිහිටි ස්ථානයේ තිබුණ කුඹුරක රන්වන් කරල් පැසුණු බවත් ඒවායේ පොරි සෑදී මුතු නමින් හැඳින්වූ බවත්, ඒ නිසා සංඝයාගේ මුතු පැහැණු කුඹුර යන අදහසින් “සඟරුවන් කෙත” යනුවෙන් නම් කරන ලද බව එක් මතයකි. තවත් මතයක් වනුයේ සංඝයාවහන්සේගේ පැවැත්මට ස්වර්ණමය භූමියක් වූ නිසා හඟුරන්කෙත යන නමින් හඳුන්වනු ලැබූ බවකි. දෙවන රාජසිංහ රජතුමා සහ ඔහුගෙන් පසුව සෙංකඩගල නුවර විසූ රජවරුන් විදේශීය ආක‍්‍රමණ නිසා ස්වකීය මුතු මැණික් ස්වර්ණාභරණ ආදී ධනය මෙම ප‍්‍රදේශයේ සඟවා තබන ලදී. ඒ නිසා සැඟවූ රුවන් කෙත යන අර්ථයෙන් හඟුරන්කෙත යන නමින් හඳුන්වා ඇති බව තවත් මතයකි.

හැට විය ඉක්ම වූ ඩිංගිරාළ විවිධ දක්ෂතා තිබූ වීරයෙකි. වෛද්‍ය, ජ්‍යෝතිෂ ශාස්ත‍්‍රය, යන්ත‍්‍ර මන්ත‍්‍ර, ගුරුකම් පිළිබඳ හසළ දැනුම ඉන් විශේෂිතය. ගෙඩි වෙදකම, හන්දි වෙදකම ගුප්ත ශාස්ත‍්‍ර දැන සිටිය ඔහු දුම්බර, හාරිස්පත්තුව, තුම්පනේ, කොත්මලේ, සත්කෝරළේ, මාතලේ ආදී උඩරට පළාත්වල ඇවිදිමින් සටනට අවශ්‍ය පසුබිම සකසා ගත්තේය.

තම ඉඩකඩම් දරුවනට ලියා දීමෙන් පසු ඩිංගිරාළ අවසන් වරට මෙසේ පැවසීය… “ලොකු පුතා.. දැන් මේවා රැකගන්න ඕනෑ. ඔබ දැන් අධිරාජ්‍යවාදීන්ගේ සේවකයෙක්. ඔවුන් කපටින්, විශ්වාස කළ නොහැකියි. ඇහැළේපොළ කැප්පෙටිපොළ පමණක් නොවේ මේ රටේ රදළයින් රාශියකගේ ජීවිතය විනාශ කළා. හිමින් සීරුවේ ජාතියම විනාශ කරමින් සිටිනවා. ලොකු පුතා දැනට කරන කොට්ඨාස නිලය ආරක්ෂා කර ගනිමින් අනාගතයේදී උසස් නිලතලවලට පත්වී හොඳින් කාලය ගත කරන්න. මා ගැන විවිධ වූ ආරංචි දැන ගැනීමට ලැබේවි. කලබල නොවී ඉවසීමෙන් කාලය ගත කරන්න. මට සිදු කරන සැලකිලි මවටයි අවශ්‍ය වෙන්නේ. මැණිකේ කලබල නොවී පුතාල එක්ක හොඳින් ඉන්න. බැරිම කාලය වෙන කොට දුව ළඟට යන්න.” යනුවෙනි.


තම පවුලෙන් සමුගත් ඩිංගිරාළ හඟුරන්කෙත පන්සලට ගොස් අත්ථදස්සී හාමුදුරුවන් හමුවී තම අදහස ඉදිරිපත් කළේය. පසුව හත්කෝරළේ වඳුරාගල නොතාරිස් රාළහාමි, වැහැර අප්පුහාමි, අඹගස්වැවේ රංහාමි කෝරළේ හමුවී ඉදිරි වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කළේය. පසුව වලපනේ, කොත්මලේ, හේවාහැට, හාරිස්පත්තුව, දුම්බර, මාතලේ, ඇලහැර ආදී ප‍්‍රදේශවල ඇවිදමින් එම ප‍්‍රදේශවල පන්සල්වල නැවතෙමින් ඉංග‍්‍රීසීන්ගෙන් රට බේරා ගන්නා ආකාරය ගැන ජනතාව දැනුම්වත් කළේය. අවසානයේ අලුත් බදුවලට විරුද්ධව සාකච්ඡා කිරීම පිණිස දිසාපති හා මහලේකම් හමුවී කතා කිරීමට ජූලි මාසයේ 06 දින මහනුවර කච්චේරියට පැමිණෙන ලෙසද දැනුම් දුන්නේය.

 

පුරන්අප්පු සහ ගොන්ගාලේගොඩ බණ්ඩා හමුවීම

මේ අතරේ ඩිංගිරාළට වාසි වන අන්දමේ සිදුවීම් කිහිපයක් වාර්තා වෙමින් පැවතිණි. ඒ පුරන්අප්පු, ගොන්ගාලේගොඩ බණ්ඩා හමුවීමය. පුරන්අප්පු හමුවන්නේ දුම්බර මිටියාවතේ දී ය. එවිට ඔහුගේ වයස අවුරුදු තිහක පමණ කඩවසම් පුද්ගලයෙකි. ඔහු ඉතාමත් දක්ෂ ලෙස කතා කිරීමට හැකි ඉංග‍්‍රීසි අධිරාජ්‍ය විරෝධී පුද්ගලයකු විය. දුම්බර ගුණ්නෑපාන ආරච්චිලගේ දියණිය වන බණ්ඩාර මැණිකා සමඟ විවාහ වී, දෙදෙනාම හාරිස්පත්තුවේ අලවතුගොඩ පදිංචිව සිටියෝ ය.

පුරන්අප්පු හෙවත් මොරටුවේ වීර හැන්නැදිගේ ප‍්‍රැන්සිස්කු ප‍්‍රනාන්දු මොරටුවේ උපත ලබා ගමෙන් පිටවූයේ වයස අවුරුදු දොළහේදී ය. ඒ නොකළ වරදකට ගම්මුලාදෑනියා දඬුවම් කළ නිසාය. වයස අවුරුදු 12ක වයසේ සිටියද වයසට වඩා ඔහු ගේ ශරීරය වැඩී තිබුණි. එහිදී ප‍්‍රැන්සිස්කුගේ පා පහර එල්ල වූයේ ගම්මුලාදෑනියාගේ පපුවටය. එකවරම ඔහු බිම ඇද වැටුණේ සිහි නැතිවය. ඔහු මිය යාමට ඇතැයි සිතා ප‍්‍රැන්සිස්කු ගමෙන් පැන ගියේ කිසිවකුටත් නොකියාමය. පසුව නොයෙකුත් පළාත්වල ඇවිදයමින් බදුල්ලට පැමිණියේ ය. එහිදී නඩුකාරයාගේ බංගලාවට ගියේ කිසියම් වැඩක් කරදී, ආහාරයට යමක් සොයා ගැනීමේ අදහසිනි. එහෙත් සිදු වූයේ නොසිතූ දෙයකි. ඔහු සිටින එක් දවසක රාත‍්‍රියේ සොරු කණ්ඩායමක් පැමිණ බංගලාවට ඇතුළු වී වටිනා භාණ්ඩ කිහිපයක් සොරා ගෙන පලා ගියේ ය. ඒ සඳහා සැක කළේ ප‍්‍රැන්සිස්කුය. අවසානයේ සිරබත් කෑමට සිදු විය. එහෙත් ඔහු හිරගේ සිටියේ දවස් කිහිපයකි. තවත් කිහිප දෙනකු සමඟ එය කඩා ගෙන පැන ගොස් සෙංකඩගල පුරවරයට පැමිණියේ ය.

පෑලියගොඩ ඬේවිඩ් හෙවත් ගොන්ගාලේගොඩ බණ්ඩා සහ ඔහුගේ සහෝදරයා වන දිනිස් ද කන්ද උඩරට උපන් අය නොවේ. ඔවුහු පෑලියගොඩ පදිංචි කාරයෝ ය. ආරම්භයේදී කොළඹ සිට ලුණු කරවල හා උඩරටට අවශ්‍ය භාණ්ඩ ගෙනැවිත් කෝපිවලට මාරු කිරීමේ වෙ​ෙළඳ‌ාමේ යෙදී ඇත. ඬේවිඩ් ගම්පොළ ආසන්නයේ ගොන්ගාලේගොඩ ගමේ මැණික් රාළගේ දියණියක සමඟ විවාහ විය. එහි කාලයක් ගත කිරීම නිසා ගොන්ගාලේගොඩ බණ්ඩා නමින් කීමට මිනිස්සු පුරුදු වූහ. කිසියම් හේතුවක් නිසා ඔහුගේ එම විවාහය බිඳ වැටුණ ද, පසුව ඩිංගිරාළ තම ඥාතිවරියක වන බිසෝමැණිකා විවාහ කර දුන්නේ අනාගත බලාපොරොත්තු ඇතුවය.

මහනුවර කච්චේරිය අසල රැස්වීම

එක්දහස් අටසිය හතළිස් අටේ ජූලි මාසයේ 06 දිනට එළිය වැටුණි. අහසේ එකදු වලාකුළක්වත් දක්නට නැත. අහස සිපගෙන තුරු ලතා වියනක් ආකාරයෙන් පැතිර තිබුණි. ඒ නිසා දහවල් වන විට දැඩි හිරු කිරණ ජනතාවට කරදරයක් වූයේ නැත. කිරි මුහුද ජලයෙන් පිරී තිබුණි. හිමිදිරි උදයේ සිට මිනිස්සු මහනුවර දළද‌ා මාළිගාව අවට සැරිසරමින් සිටිති. ඒ වන විටත් මහනුවර දිසාපති බුලර් පොලිසිය කැඳවා තිබුණි. ඒ වෙනකක් නිසා නොව හඟුරන්කෙත ඩිංගිරාළගේ නියෝගයකට අනුව පැමිණෙන බදු විරෝධීන්ට මුහුණ දීම සඳහාය. ජනතාව මෙහෙයවීම පවරා තිබුණේ ගොන්ගාලේගොඩ බණ්ඩාටය. දහවල් දහය පමණ වන විට හාර දහසක පමණ ජනතාවක් මහනුවර දළද‌ා මාලිගාවේ පත්තිරිප්පුව ඉදිරිපිටට රැස් වූහ.

දිසාපති බුලර්ස් පත්තිරිප්පුවට නැග ජනතාව ඇමතීමට උත්සාහ කළේය. ජනතාව කෑකෝ ගසමින් බදුවලට විරෝධතාව දැක්වූහ. බුලර්ගේ උත්සාහය අසාර්ථක විය. ඒ වන විට මහනුවර පොලිස් පරීක්ෂක ලෙස රාජකාරි සිදු කළේ දුනුවිල ලොකු බණ්ඩා ය. අශ්වයා පිට නැඟ ජනතාව අතරට ගොස් ඔවුන් පාලනය කිරීමට උත්සාහ කළේය. කෝපවී සිටින ජනතාව දුනුවිල මහතා අසුපිටින් වැටෙන තුරු පහර දුන්හ. උප පොලිස් පරීක්ෂක, පොලිස් කොස්තාපල්වරු හය දෙනෙක් ද, සැරයන්වරයකු ද කුපිත වී සිටි ජනතාවගේ පොලු පහරවලට ලක්ව තුවාල ලැබූහ. අවසානයේ යුද්ධ හමුද‌ාව කැඳවනු ලැබිණ.

ඒ වන විට මහනුවර නගරයේ කඩසාප්පු කිහිපයක් ගිනි ගෙන තිබුණි. පිරිස පාලනය කිරීමට හමුද‌ාව අහසට වෙඩි තැබූහ. අවසානයේ ඩිංගිරාළ ජනතාව අමතමින්….. “මාගේ ආදරණිය සිංහලයිනි.. මෙම කැරැල්ල මෙතැනින් නවතින්නේ නැහැ. ඉංග‍්‍රීසීන් කන්ද උඩරටින් පළවා හරින තෙක් සටන් කරනවා.. දැන් මම මාතලේ හරහා දඹුලු විහාරයට යනවා. ඔබ සියලු දෙනාමත් මෙම මස අවසානයේදී දඹුල්ලට පැමිණිය යුතුයි… ”


දඹුල්ලට යාමට පෙර ගොලෑහල රටේ රාළ, කඳපොළ බස්නායක නිලමේ, දුල්ලෑවේ මහ නිලමේ, හැවැන්පොළ කෝරාළ හමු වූ ඩිංගිරාළ තමාගේ සිතේ පවතින අදහස ඉදිරිපත් කළේය. ඔවුන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ජුලි මස 28 දින දඹුලු විහාරයේදී හමුවෙන බවට පොරොන්දු කරවා ගත්හ. සියලු දෙනා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු දඹුලු විහාරස්ථානයට ගොස් විහාරාධිපති ගිරානේගම ඉන්ද්‍රජෝති නායක හිමිපාණන් වහන්සේ හමුවී තම අදහස් හෙළි කළේ ය.

“ස්වාමීන්වහන්ස ගොන්ගාලේගොඩ බණ්ඩාට රජකම දෙන බවටත්, පුරන්අප්පුට මහ ඇමැති හා සේනා විධායක පදවියත්, දිනිස්ට හා කරෝ අප්පුට මහ සෙනෙවි පදවි පිරි නැමීමටත් පොරොන්දු වුණා. එසේ නැතිව ඉංග‍්‍රීසින් සමඟ මෙම සටන ගෙනියන්න බැහැ. ඔබ වහන්සේගේ ආශිර්වාදය මේ සඳහා අවශ්‍යයි… මගේ අදහස ඔබ රජ පදවියට පත් විය යුතු බවයි… නාහිමියෝ පැවැසූහ. මට මොන පදවියක්වත් අවශ්‍ය නැහැ.. හාමුදුරුවනේ.. මට ඕනෑ කරන්නේ අපේ ආගම.. රට ජාතිය රැක ගන්නයි.. කාලයක් තිස්සේ මට අවස්ථාව ලැබෙන තුරු බලන් සිටියා. බදු බර නිසා මුඑ රටම එකා මෙන් ඉදිරියට පැමිණිලා.. මට අවශ්‍ය කරන්නේ ජාතියේ විමුක්තිය මිස රජකම නොවේ.. ඩිංගිරාළ පැවසුවේ හැඟුම්බරවය.

මේ වන විට එම කැරැල්ල මාතලේ, දඹුල්ල, වාරියපොළ, කුරුණෑගල ප‍්‍රදේශ දක්වා පැතිර ගියේ ය. පන්දහසක පමණ පිරිසක් නගරවල ගොඩනැගිලි සහ කඩසාප්පුවලට පහර දුන් අතර, උසාවිවල තිබූ මුඩුබිම් පනත සම්බන්ධ ලිපි ලේඛන විනාශ කළහ. වතු වැවිලි කරුවන්ගේ නිවෙස් ද කොල්ල කෑහ. මාතලේ, වාරියපොළ පිහිටි කෝපි වතු සහ ගබඩා විනාශ කෙරිණි. ජූලි 28 දින කුරුණෑගලට රැස් වූ පන්දහසක පමණ කැරලිකරුවෝ එහි සිරගෙය බිඳ දමා එහි සිටි අය මුද‌ා ගත්හ.
පසුව උසාවියට සහ කච්චේරියට ගොස් හේන් සහ ඉඩම් වාර්තා විනාශ කළහ. කෝපි වතු කොල්ලකා මහත් විනාශයක් ඇති කළේය. ලුතිතන් ඇනෙස්ලි කුරුණෑගල අනුකණ්ඩය භාර සිටි නිලධාරියා ය. ඔහුගේ හමුද‌ාව සමඟ ඇති වූ සටනේදී කොල්ලකරුවෝ දහසය දෙනෙක් මරු මුවට පත් වූහ.

මෙරට ඉතිහාසයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් සැලකෙන රජකෙනකු පත් කිරීම සිදු වූයේ 1848 ජූලි මස 30 දිනද‌ා ය. ඒ ගොන්ගාලේගොඩ බණ්ඩා ය. දඔුලු විහාර මළුවට රැස්වූ පන්දහසක පිරිසක් ඉදිරියේ ගොන්ගාලේගොඩ බණ්ඩා සිංහලේ නව රජු වශයෙන් ද, යුව රජු වශයෙන් හඟුරන්කෙත ඩිංගිරාළ ද, පුරන්අප්පු මහ ඇමැති ලෙස ද, දීනිස් හා කරෝ අප්පු සේනානායක තනතුරුවලින් ද පත් කර ගන්නා ලද්දේ භික්ෂූන් වහන්සේලාගේ පිරිත් සජ්ඡායනා මධ්‍යයේ ගිරානේගම ඉන්ද්‍රජෝති නාහිමියන් අතිනි.
අවසන් සටනට පිවිසෙයි…

තම ජීවිතය පුද‌ා හෝ දේශය රැකගත යුතු යැයි උද‌ාර ලීලාවෙන් ප‍්‍රකාශ කළ හඟුරන්කෙත ඩිංගිරාළ යුව රජු වුවද, රජුගේ භූමිකාව නිරූපණය කළේය. මෙහිදී තම සේනාවෝ කොටස් දෙකකට බෙදූ ඔහු, එක සේනාවක් මාතලේට ද, අනෙක් සේනාව කුරුණෑගලට ද පිටත් කර යැවීය. ලෙනදොර සිට මාතලේ බලා යන යුද්ධ බළ ඇණියේ නායකත්වය මහ ඇමැති පුරන්අප්පුට පැවරුණ අතර, රජු ගොන්ගාලේගොඩ බණ්ඩා ද පෙරමුණ ගත්හ. අනෙක් බළ ඇණිය කුරුණෑගල දක්වා මෙහෙය වන ලද්දේ යුව රජු ය. මාතලේ කලබල පටන් ගැනීමේදී සැක පිට අත්අඩංගුවට ගත් සිංහල ජාතිකයන් හිර කර සිටියේ කුරුණෑගලය. ඔවුන් බේරා ගැනීම ද ඔහුගේ එක් අරමුණක් විය. එහි සේනාවිධායක ලෙස කරෝ අප්පු සහ දීනිස් යන සටන්කාමිහු අණ දුන්හ.

මේ ආකාරයෙන් ඉදිරියට යන බළ ඇණි දෙක ජූලි මස 30 දින රාත‍්‍රිය ලෙනදොර පන්සල් වත්ත මැදින් ගලා ගිය දොළ පාර දෙපස කඳවුරු බැඳ ගත්තේ ය. රජතුමා සහ යුවරජු ලෙනදොර බණ මඩුවේ රාත‍්‍රිය ගෙවා දැම්මේ ඉංග‍්‍රීසීන් දේශයෙන් එළවා දැමීම ශපථ කරමිනි.

ජූලි 31 දිනට එළිය වැටීමට ඇත්තේ තවත් හෝරාවක පමණ කාලයකි. නැවතත් ගමන් ඇරඹීමට ඔවුහු සුද‌ානම්ය. පළමුව සේනාධිනායක මහ ඇමැති පුරන්අප්පුගේ හමුද‌ාව ගොන්ගාලේගොඩ බණ්ඩා රජු පෙරටු කරගෙන මාතලේ බලා පිටත් විය. දෙවනුව යුවරජු ඩිංගිරාළ ප‍්‍රධානත්වයෙන් කුරුණෑගල බලා හමුද‌ාව කණ්ඩ තුනක් වශයෙන් බෙදිණි. ඒ යුව රජුගේ හමුදාව, දීනිස් සහ කරෝ අප්පුගේ හමුද‌ාව වශයෙනි. 31 දින රාත‍්‍රිය වන විට කුරුණෑගල නගරය අසල කඳවුරු බැඳගත් මෙම සේනාවෝ අගෝස්තු මස 01 දින එහි නගරය වටලනු ලැබූහ. එහි ආරක්ෂාව සඳහා සිටියේ පවර් නමැති ඉංග‍්‍රීසි නිලධාරියකු සහ ඔහු යටතේ මැලේ සෙබළුන් කිහිප දෙනෙකි.

දීනිස් සෙනෙවියාගේ සේනාව බන්ධනාගාරය දෙසට පැමිණෙනවාත් සමඟම එහි ආරක්ෂක භටයන් කිහිප දෙනා පැන ගියෝය. සිරගෙයි යකඩ ගේට්ටු කඩා බිඳ දමා සිංහලයින් මුද‌ාගනු ලැබිණ. තවත් මොහොතකින් බන්ධනාගාරය කඩා එහි තාප්පය බිමට සමතලා කර දැම්මේය. ඒ වන විට කරෝ අප්පුගේ සේනාව කච්චේරිය, දිස්ත්‍රික් උසාවිය කඩා බිඳ දමා ලිපි ලේඛන සියල්ලද විනාශ කර දැමූහ. දහවල් වන විට ඉංග‍්‍රීසි භටයින් කණ්ඩායමක් කුරුණෑගලට පැමිණි අතර, දෙපිරිසර අතර වෙඩි හුවමාරුවක් පැවතුණි. එම සටනේදී වඳුරාගල නොතාරිස් රාළහාමි මිය ගිය අතර තවත් කිහිප දෙනකුට තුවාල සිදු වූහ. මෙයින් තාවකාලිකව පසුබෑමකට ලක් වූ පිරිස, හඟුරන්කෙත ඩිංගිරාළ ඉදිරිපත් වී අසළ තිබූ බම්බාවේ විහාරයට කැඳවා එහි කඳවුරු බැඳගත්තේ ආරක්ෂාව සඳහා ය.


දොරටියාවේ රටේ රාළ යුව රජු ඩිංගිරාළව පාවා දෙයි…

1848 කැරැල්ල සාර්ථක වීමට තිබුණේ තවත් හෝරා කිහිපයකි. මේ අතරේ ඉංග‍්‍රීසි හමුද‌ා නායක මැක්ඩොනල්ඩ් හා දොරටියාවේ රාළ අතර රහස් කතාවකි. කැරලි නායකයන් අල්ලා දෙනවා නම් පවුම් එකසිය පනහක් තෑගි වශයෙන් ලබා දෙනවා.. මැක්ඩොනල්ඩ් පැවසීය… ඒක එතරම් අපහසු කටයුත්තක් නොවෙයි…. ඩිංගිරාළ මගේ හොඳ මිත‍්‍රයෙක්.. මම ඔබ හමුවට ඔහු රැගෙන එන්නම්… දොරටියාවේ රාළ කීය.

අගෝස්තු දෙවෙනි දිනයට එළිය වැටී හෝරා දෙකක් පමණ ගතවී ගොසිනි. යුව රජ තම සේනාධිපතියන් සමඟ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡාවක නිරත වන අතරතුර දොරටියාවේ රටේ රාළ පැමිණියේ තනිවමය. ඔබ මෙහි කඳවුරු බැඳගෙන සිටින බවට.. ආරංචි වුණා.. ඔබට සහාය දැක්වීම සඳහා හමුද‌ාවක් සමඟ හෙට පැමිණෙන්නම්.. කුමන්ත‍්‍රණය ගැන කිසිත් නොදත් ඩිංගිරාළ… ‘පමාවී හෝ ඔබ පැමිණීම ගැන මම සතුටු වෙනවා.” යැයි පැවසීය.

පසුදින දොරටියාවේ රටේ රාළ භට පිරිසක් සමඟ ඩිංගිරාළ හමුවීමට යන අතර මඟදී හිටපු රටේ මහතකු වන දිසානායක මුදියන්සේලාගේ කළුබණ්ඩා හමු විය. යුව රජු සිටින ස්ථානය ඔහුගෙන් දැන ගත්තේය. පසුව ඔහු සමඟ ගොස් ලුණුකඩවැල්ල විහාරයේ කඳවුරු බැඳ ගෙන සිටින ඩිංගිරාළ හමු වන විට මධ්‍යම රාත‍්‍රිය ළඟා වී තිබුණි. පන් දහසකට අධික පිරිසක් එහි කඳවුරු බැඳ ගෙන සිටියෝ ය. ඩිංගිරාළගේ හමුද‌ාව තැනින් තැන නින්දට ගිය පසු, දොරටියාවේ සංඥාවකට අනුව ඩිංගිරාළ අල්ලා බැඳ ගෙන, හතර වෙනි දින පාන්දර වන විට මැක්ඩොනල්ඩ්ට භාර දුන්නේ ය. පසුව ගොන්ගාලේගොඩ බණ්ඩා සහ පුරන්අප්පු ද ඉංග‍්‍රීසීන් විසින් අල්ලා ගන්නා ලදී. 1848 අගෝස්තු මස 08 වෙනි දින, පුරන්අප්පු මාතලේ දී වෙඩි තබා මරණයට පත් කෙරිණි. ගොන්ගාලේගොඩ බණ්ඩා පසුව ආණ්ඩුකාරයා වෙත ඉදිරිපත් කරන ලද සමාව අයැදීමක් නිසා, කස පහර 100ක් ලබා දී ජීවිතාන්තය දක්වා මලක්කාවට පිටුවහල් කළ අතර, ඔහු 1849 දෙසැම්බර් මස 01 ද‌ා එහිදී මරණයට පත් විය.

Please follow and like us:
0

Add a Comment

Your email address will not be published. Required fields are marked *

Close

Enjoy this blog? Please spread the word :)

  • RSS
  • Follow by Email
  • Facebook
    Facebook
  • Google+
    http://ithihasa.org/2017/12/05/%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1">
  • Twitter
  • Instagram